මුත්‍රා මාර්ගයට විෂබීජ ඇතුළු වීම කෙසේ සිදුවේද ?

        මුත්‍රා දැවිල්ල නමැති රෝග ලක්ෂණය ගැන අත්දැකීම් නැති කෙනෙක්  වැඩිහිටියන් අතර ඇතැයි කිව නොහැකිය. එය ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක හට ගත හැකි සහ සුලබ රෝග තත්ත්වයකි.
        මුත්‍රා දැවිල්ලක් ලෙස අපට දැනෙන්නේ මුත්‍රා මාර්ගයට  විෂබීජයක්  ඇතුලුවීම විය හැකිය. එනිසා මේ විෂබීජ මොනවාද යන්න ගැන මුලින්ම අපි සොයා බලමු.
        විෂබීජයක් යනු අපේ පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවියෙකි. කොතරම් සියුම් වුවද එම ජීවියා ද පෝෂණය ලබමින් වැඩෙයි. එසේම තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියේ ද නිරත වෙයි. එහෙත් විෂ සහිත මෙම ජීවීන් නිසා අපට නොයෙකුත් කරදර ඇති වීමට ඕනෑ තරම්  හැකියාව තිබේ.
        අපේ ශරීරයට මුලින්ම ඇතුළු වන්නේ එකම එක සියුම් විෂබීජයක් වන්නට පුළුවන. නමුත් ඒ එක විෂබීජය තම වර්ගයා බෝ කරමින් විෂබීජ  ගොන්නක් ආකාරයට වර්ධනය වන වේගය ඉතාමත් පුදුමාකාර ය. මනුෂ්‍යයන් වන අප වසර විස්සක් තිහක් වැඩිම වුණොත්, හතළිහක් ඇතුළත බිහිකරන්නේ  දරුවන් දෙදෙනකු හෝ තුන් දෙනෙක් වැනි ප්‍රමාණයක් විය හැකි ය. එහෙත් විෂබීජයක් ඉපදී විනාඩි විස්සක් ගතවන විට තවත් විෂබීජයක් ද, ඊළඟ විනාඩි විස්සේ දී එවැනි වූ විෂබීජ හතරක් ද බිහි කරනු ලබයි. මෙලෙස පැයක් ගත වන විට එම විෂබීජ හැටහතරක්  බවටත්, තුන්වන පැය ගත වෙද්දී දාහක් දක්වාත්  එකම එක විෂබීජය විකසනය වෙයි . මේ ආකාරයට දින කිහිපයක් ගතවන විට දී ලෝක ජනගහනය ද ඉක්මවා යන තරමේ විෂබීජ කන්දරාවක් බිහි වන ආකාරය ඔබට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.
        මෙවැනි විෂබීජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ කෙසේද ?
        අප ඉතා අපිරිසිදු දෙයක් ලෙස සැලකුවද මුත්‍රා මාර්ගය යනු ඉතාමත් පිරිසුදු බවින් යුතු ප්‍රදේශයකි. එනිසා මුත්‍රා මාර්ගයේ කිසිදු විෂබීජයක් රැඳෙන්නේ නැත. නමුත් විෂබීජවලින්  ගහණ වූ අවට ලෝකයට  අපේ  සම, දත් ආදිය නිරන්තරයෙන් නිරාවරණය වී පවතී. මුත්‍රා විවරය ද පවතින්නේ පිටතට නිරාවරණය වන ආකාරයට ය.
        මෙවැනි පසුබිමක් මත ඉතා පහසුවෙන් මුත්‍රා මාර්ගයට ද විෂබීජ  පිවිසීමට හැකියාවක් තිබුණ ද,  උපන් දා සිට නිතිපතා මුත්‍රා පිට කරන වාරයක් වාරයක් පාසා පිරිසිදු මුත්‍රාවලින් සේදි සේදී එවැනි විෂබීජ  ඇත්නම් ඒවා පිටතට බැහැර කිරීම සිදුකරනු ලබයි. ඒ ආකාරයට මුත්‍රා මාර්ගයේ යම් විෂබීජ ප්‍රමාණයක් ඇත්නම් ඉන්පසුව සියල්ල ලැගුම් ගන්නේ අපේ ශරීරයේ  පිටත ප්‍රදේශයේ බව දැන් ඔබට පැහැදිලි වනවා ඇත. ඒ අනුව මුත්‍රා මාර්ගය සාමාන්‍යයෙන් විෂබීජවලින්  තොරවූ කලාපයක් බවට පත්වේ.
         එලෙස විෂබීජයකට  මුත්‍රා මාර්ගය වෙත පිවිසීම එතරම් පහසු කාර්යයක් නො වුව ද,  යම් හිඩැසක් ප්‍රයෝජනයට ගනිමින්  මුත්‍රා මාර්ගය දිගේ ශරීරය තුළට විෂබීජ පැමිණෙන අවස්ථා තිබේ.  එලෙස පැමිණෙන විෂබීජයක් මුලින්ම නතර වන්නේ  බැලුමක ආකාරය ගත් මුත්‍රාශයේ ය. අපේ ශරීරයේ යටි බඩ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම මුත්‍රාශයට මුත්‍රා එකතු වීම සිදුවේ. එම මුත්‍රා ප්‍රමාණය මුත්‍රාශයට දරාගත නොහැකි තරම් වූ විට අපට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය දැනෙයි. මුත්‍රාශය මිරිකීම සමඟ එහි ඇති මුත්‍රා බැහැර වීම සිදුවේ. මෙහිදී  මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් වන්නේ නැත. තේ කෝප්පයක  තේ මණ්ඩි  වීසි කළ ද තව බිංදු කීපයක් කෝප්පයේ ඉතිරිවී තිබෙන අයුරින්  මුත්‍රා බිංදු කිහිපයක් එහි රැඳී පවතී.  මුත්‍රා රෝගවල දී මුත්‍රාශය සම්පූර්ණයෙන් හිස් නොවී එහි ඉතා සුළු ප්‍රමාණයක් මුත්‍රා රැඳී සිටීම යනුවෙන් අදහස් කරන්නේ මේ  මුත්‍රා බිංදු කිහිපයට වඩා වැඩි ප්‍රමාණයක් රැඳුණු  විට ය.
       මෙලෙස මුත්‍රා මාර්ගයේ ඉතා ස්වල්පයක් මුත්‍රා රැඳී තිබීම එහි ඇතුළු වූ  විෂබීජයකට රැඳී සිටීම සඳහා ඉතා හොඳ තෝතැන්නක් වනු ඇත.
        මුත්‍රාශයට මුත්‍රා ගලා එන්නේ ඊට ඉහළින්  මුත්‍රාශය දෙපසින් පිහිටා ඇති නාල දෙකක් ඔස්සේ ය. ඉන්පසුව  එම විෂබීජය නාල තුළටද ගමන් කළ හැකිය. ඊටත් ඉහළට වන්නට වකුගඩු පිහිටා ඇත. වකුගඩු තුළ මුත්‍රා එකතු වන කුහර තුළට ද විෂබීජ ගමන් කළ හැකිය.  එවිට එම වකුගඩුව ඇති පැත්ත වේදනා ගෙන දේ. රුධිරයට විෂබීජ ගමන් කරන්නට පටන් ගන්නේ එවිට ය. ලේවලට විෂබීජ ගමන් කිරීම අනතුරුදායක තත්ත්වයකි.
        විෂබීජ, තමාට ඉතා සුදුසු පරිසරයක සීඝ්‍රයෙන් වර්ධනය වන අතර ඇතැම් අවස්ථාවලදී වකුගඩුවල  යම් ස්ථානයක වැඩෙන්නට පටන් ගනී. ඉන්පසු ඒ තුළ විෂබීජවලට පමණක් රැඳෙන්නට හැකි පරිසරයක් නිර්මාණය කර ගනු ඇත. දැන් එය එකම සැරව ගෙඩියකි. ඊට කිසිදු ඖෂධයක් ක්‍රියාකාරී වන්නේ ද නැත. අවසානයේ කළ හැක්කේ  ඇතැම් විට ශල්‍යකර්මයක් පමණක් විය හැකිය.
        නමුත් මෙවැනි බරපතළ තත්ත්වයකට පත් වන්නට පෙර අපට එය ගොඩින්  බේරා ගන්නට අපහසු නැත. මුත්‍රා අමාරුවක් වැළඳුණු වහාම වෛද්‍යවරයකු වෙත යෑම මෙහි මුල්ම පියවරයි. එවිට වෛද්‍යවරයා රෝගියාට  මුත්‍රාවල  UFR ( urine full report) කල්චර් ( culture ) පරීක්ෂණ කරගෙන  එන ලෙස නියම කරනු ඇත. UFR යනු මුත්‍රාවල සැරව පවතීදැයි හඳුනා ගන්නට කරනු ලබන පරීක්ෂණයකි. කල්චර් පරීක්ෂණය සිදු කරන්නේ විෂබීජ පෝෂණ මාධ්‍යයක් තුළ වීදුරුවක වැඩෙන්නට සැලැස්වීමෙනි. දින තුනක් ගත වන විට වීදුරුව මත  විෂබීජය  වර්ධනය වී ඇති ආකාරයක් දැකිය හැකිය. ඒ මත විසුරුවා ඇති බෙහෙත් පෙති වෙත අවධානය යොමු කළ විට කුමන පෙත්ත වටා ඇති විෂබීජය වඩා වැඩිපුර විනාශ වී ඇති ද යන්න වෛද්‍යවරයා වටහා ගනියි. ඒ ආකාරයට විෂබීජ විනාශ කිරීමේ ප්‍රබලත්වය වඩා වැඩි ඖෂධය රෝගියාට නිර්දේශ කරනු ඇත.
        නමුත් හිතුමතේ ඖෂධ ගන්නට පුරුදු වී සිටින සමහර රෝගීන් ෆාමසියකට ගොස් යම් ප්‍රතිජීවක ඖෂධයක් ගෙන අත්හදා බැලීම් සිදුකරන අවස්ථා තිබේ. අහම්බෙන් එවැනි ප්‍රතිජීවක ඖෂධයක් වැඩ කරන අවස්ථා ද තිබිය හැකිය. එහෙත් එසේ නොවී අත්හදා බැලීම වැරදී ගියහොත් යළි කල්චර්  පරීක්ෂණයකින්වත් කිසිවක් හසුකර ගත නොහැකි සංකීර්ණ තත්ත්වයක් උදාවිය හැකිය. අපි උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු.
         රෑ මැදියමේ පිටතින් ඇසෙන හඬකින් සොරුන් පැමිණ ඇතැයි සිතෙන අයකු පොලීසියට ඒ බව දැන්විය හැකිය. එහෙත් පොලිසිය පැමිණෙන තුරු ඉවසා  නො සිටින මෙම පුද්ගලයා තමන්ට වෙඩි තියන්නට හුරු නැති වුවද, හොරු සිටින දිසාවට හතර අතේ වෙඩි තැබුවොත් කුමක් සිදුවන්නේ ද ? අහම්බෙන් සොරෙකුට වෙඩිල්ලක් වදින්නට ද හැකියාවක් නැතුවා නොවේ. එහෙත් වැඩි හැකියාවක් ඇත්තේ සොරුන්ට වසන් වීමටය. පොලීසියට ඉතා පහසුවෙන් යටත් කරගන්නට හැකියාව තිබූ සොරුන්ට සැඟව ගන්නට අවස්ථාව ලබා දෙන්නේ ගෙහිමියා ම ය. මුත්‍රා අමාරුවට හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම ද එවැනි තත්ත්වයකට දෙවෙනි නොවේ.
       සමහර රෝගීහු මුත්‍රා දැවිල්ල හෝ උණ පහව  ගිය වහාම වේදනානාශක පෙති ගැනීම නතර කර දමති. වේදනාව අඩු වුවද විෂබීජවලින් කොටසක් ශරීරය තුළ වර්ධනය වෙමින් පවතින පසුබිමක ප්‍රතිජීවක ඖෂධ බාගෙට ගෙන නතර කිරීම “නයාට ගසා පොල්ල වරද්දා ගැනීම” කි.
        ඊළඟ අවස්ථාවේදී විෂබීජය දෙතුන් ගුණයකින් වර්ධනය වී ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් විට තත්ත්වය ඊටත් වඩා බරපතළ වෙයි. නිශ්චිත දින ගණනකට වෛද්‍යවරයකු යම් ප්‍රතිජීවක ඖෂධයක් නියම කරන්නේ එම විෂබීජ සමූලඝාතනය වන ආකාරයට ය. එය අතරමග නතර කිරීමේ අවදානම බොහෝ අය සිතනවාට වඩා අතිශයින් බරපතළ විය හැකිය.
        පුරුෂ පාර්ශවයට නම් හේතුවක් නැතිව මුත්‍රා අමාරුවක් වැළඳෙන්නට තිබෙන හැකියාව අඩු ය. මුත්‍රා මාර්ගයේ ගල් හෝ වෙනත් අවහිරතාවයක් නිසා මෙන්ම මුත්‍රා මාර්ගය කෙළවර පෙර සම පසුපසට නොයාම හේතුවෙන්ද පිරිමින්ට මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මුත්‍රා කරන ස්ථානයේ
පෙර සම පසුපසට නොයාම තමන්ට පමණක් ඇති ගැටලුවක් බව එම තත්ත්වයෙන් පෙළෙන සමහරුන් නොදන්නා අතර එය සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතා සිටින අවස්ථා තිබේ.
        නමුත් එවැනි තත්ත්වයන් හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් නැවත නැවත මුත්‍රා පැසවීම සිදුවිය හැකිය.
         කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය පුරුෂ පාර්ශවයේ මෙන් දිගින් වැඩි නැත. මුත්‍රා මාර්ගයේ මෙම කෙටි බව නිසා ඉතා ඉක්මනින් කාන්තාවන්ගේ මුත්‍රාශයට විෂබීජ ඇතුළු වන්නට හැකියාව තිබේ.
           දියවැඩියාවෙන් පෙළෙන අයෙකුට හටගන්නා මුත්‍රා පැසවීම  කරදර ගණනාවකට මං පාදන්නක් විය හැකි නිසා විශේෂයෙන්  දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් මුත්‍රා අමාරු සුළුකොට නොතැකිය යුතුය.
            ශරීරයට ඇතුළු වන විෂබීජයක් දියත් කරන සටන සුළුපටු නොවේ. විෂබීජයක් දිනෙන් දින වෙනස් වෙමින් වර්ධනය වන ස්වභාවය නිසා වෛද්‍යවරුන්ට ද නිශ්චිත ප්‍රතිකාරයකට පිවිසීම එක්වරම කළ නොහැකිය. ඒ නිසාම මුල් දිනවල දී වෛද්‍යවරයකු විෂබීජයකට ඖෂධ ලබා දෙන්නේ සැකය පදනම් කරගෙනය.වෛද්‍යවරයාට ද යමක් කරන්නට යම් කාලයක් අවශ්‍ය ය. රෝගීන් ගේ පැත්තෙන් කරන්නට ඇති හොඳම දෙය නම් වෛද්‍යවරයාට යමක් කරන්නට ඒ කාලය  ලබාදෙමින් හැකි ඉක්මනින් ප්‍රතිකාර කරා යොමු වීමයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
සැකසුම  – ඉන්දු පෙරේරා
විනිවිද සායනය