හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්රවෘත්ති හා සාවද්‍ය ප්රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRC) වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බවට පොලීසිය සිදු කොට ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදාල විෂය සම්බන්ධ ප්රාමාණිකයකු වන වන ආචාර්ය රංග කලංසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා ඇත.
“මේක වැරදි කොනෙන් අල්ලා ගැනීමක්. රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසියටවත් මේ ක්‍රියාදාමය ගැන අබමල් රේණුවකවත් දැනීමක් නැති බව පේනවා. TRC එකේ වගකීම මාධ්‍ය ආයතනවල අන්තර්ගතය ගැන හොයන එක නෙමෙයි. ඒ අයට ඒ ගැන කිසි දැනුමක් හැකියාවක් නැහැ. ඒ අය දන්නෙ සංඛ්‍යාත නියාමනය කරමින් තාක්ෂණික ගැටලු විසඳීම පමණයි. දැනට තියෙන නීතියට අනුව ටෙලිවිෂන් හෝ රේඩියෝ ආයතනයකින් වරදක් කරලා නං පැමිණිලි කරන්න ඕනෙ ජනමාධ්‍ය අමාත්‍යාංශයට. මොකද බලපත්‍ර කොන්දේසි නිකුත් කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. බලපත්‍ර කොන්දේසි කඩ කරලා කියලා තියෙන පැමිණිල්ලක් තමයි විභාග කරන්න පුලුවන්. හරි ක්‍රමයට නං එවැනි පැමිණිල්ලක් ලැබුණාම අමාත්‍යාංශය විසින් අපක්ෂපාතීව පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුවයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. මේකෙ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා, පොලීසිය වටේ යනවා. අනේ මන්දා…….”
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහස සහ ආරක්ෂාව, මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමියකු ලෙස ප්‍රකට ආචාර්ය රංග කලන්සූරිය මහතා ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ (AMIC) හිටපු විධායක අධ්යක්ෂ වරයකු ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක වරයකු හා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමෙහි අධ්යක්ෂ ජනරාල් වරයකු සේම හිටපු රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වරයෙක් ද වේ.