මොකක්ද මේ හැමෝම කියන පපුවේ අමාරුවට කරන ඩයි ටෙස්ට් එක ? හෘද වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

අපේ සාමාන්‍ය ජන සමාජය බොහෝ විට හෘදයාබාධය හඳුන්වන්නේ “පපුවේ අමාරුව” ලෙසිනි. මේ පපුවේ අමාරුව ගැන සොයා බලන්නට කරන එක් පරීක්ෂණයක් “ඩයි ටෙස්ට්” ලෙසින් හඳුන්වන්නට වැඩි දෙනෙක් පුරුදු වී සිටිති. නමුත් මෙහි නිවැරදි විද්‍යාත්මක වචනය කොරොනරි ඇන්ජියෝග්‍රෑම් (coronary angiogram) යන්නයි. මේ කතා කරන්නේ එම ඩයි ටෙස්ට් හෙවත් කොරොනරි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය පිළිබඳවයි.
හෘදයාබාධ හට ගැනීම අද අපේ රටේ තරුණ මහලු වශයෙන් වයස් භේදයක් නැතිවම බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් වී තිබේ . මේ සඳහා දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය වැඩි වීම, තරබාරු බව සහ ව්‍යායාම මදි වීම මෙන්ම ආරයට යාම හෙවත් ජානමය තත්ත්වයන් ද හේතු වේ.
හෘදයාබාධයක් ඇති වන්නේ හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි බිත්තිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා එම නාල අවහිර වී යාමෙනි. මෙවැනි කිරීටක ධමනි අවහිරතාවයක දී රුධිර කැටියක් හිරවීම තුළින් එම ධමනියට රුධිර සැපයුම සම්පූර්ණයෙන්ම ඇණ හිටිය හැකිය. හෘදයාබාධයක් ඇති වන්නේ මෙවැනි අවස්ථාවක යි.

අප මේ කතා කරන කොරොනරි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාව මෙම කිරීටක ධමනි අවහිරතාවය හඳුනා ගැනීමට කළ හැකි හොඳම පරීක්ෂණයයි. එහිදී, මුලින්ම සිදුකරන්නේ අපේ අතේ මැණික් කටුව අසල ස්ථානයකින් හෝ ඉකිළිය ප්‍රදේශයෙන් ධමනියක් තුළට කැතීටරය නම් වූ ඉතා සිහින් නැවෙන සුලු ප්ලාස්ටික් නාලයක් ඇතුළු කිරීමයි. ඉන්පසු එම කැතීටරය ඔස්සේ රුධිර නාලවල අවහිරතා සටහන් කරගත හැකි අන්දමේ වර්ණකයක් ( contrast medium) යවා ඒ සමගම ලබා ගන්නා එක්ස් කිරණ වීඩියෝ පටයක් මගින් කිරීටක ධමනි අවහිරතා හඳුනාගත හැකිය. ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කළ වහාම කිරීටක ධමනිවල අවහිරතා තිබේද නැද්ද, එවැනි අවහිරතා තිබේ නම් ඒ කොපමණ ප්‍රමාණයක්ද , එම අවහිරතා තිබෙන්නේ කුමන ස්ථානවලද, රුධිර නාලයෙන් සියයට කොපමණ ප්‍රමාණයක් අවහිර වී තිබේද යන්න නිශ්චය කරගත හැකිය. මෙම තොරතුරු අනුව රෝගියාට ලබාදිය යුතු ප්‍රතිකාර මොනවාද යන්නත් නිශ්චය කරගත හැකිවේ. එවැනි ප්‍රතිකාර අතරට ඖෂධ මගින් රෝග තත්ත්වය පාලනය කර පවත්වාගෙන යාම, ඇන්ජියෝප්ලාස්ටි ( Angioplasty ) සහ ස්ටෙන්ට් ( Stent) ප්‍රතිකාර කිරීම සහ බයිපාස් සැත්කමක් මගින් ප්‍රතිකාර කිරීම අයත් ය.
ඉහත පරීක්ෂණය සඳහා රෝගියාට අවම වශයෙන් පැය කිහිපයක්වත් රෝහලේ නතර වී සිටීමට සිදු වේ. බොහෝ විට එය පැය විසි හතරක් විය හැකිය.

රෝගියකු එකවරම ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයට භාජනය කරන්නේ නැත. එම පරීක්ෂණයට පෙර තවත් පරීක්ෂණ කිහිපයකට රෝගියාට මුහුණ දීමට සිදුවේ. මේ අතරට ඊ.සී.ජී. පරීක්ෂාව, වකුගඩු ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලෙන සීරම් ක්‍රියැටිනින් ( serum creatinine ) රුධිර පරීක්ෂණය, රුධිරය කැටි ගැසීම පිළිබඳ පරීක්ෂණය, රුධිර ඝනය , පපුවේ එක්ස් රේ පරීක්ෂාව, හෙපටයිටිස් සහ එච්.අයි. වී. වැනි රෝග පිළිබඳ පරික්ෂා මෙහිදී සිදු කිරීමට අවශ්‍ය ය.

ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයට මුහුණ දීමට පෙර රෝගියාට සාමාන්‍යයෙන් පැය 3 – 4 ක් පමණ නිරාහාරව සිටීමට සිදුවේ.
සාමාන්‍යයෙන් මෙම පරීක්ෂාව වේදනාකාරී එකක් නොවේ. කැතීටරය ඇතුළු කරවන මැණික් කටුව හෝ ඉකිලිය අසල ප්‍රදේශය කුඩා ඉන්ජෙක්ෂන් එකක් විදීම තුළින් හිරිවැට්ටවීම කළ පසු රෝගියාට කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත.
මෙම පරීක්ෂණය කරන අවස්ථාවේදී කලාතුරකින් සමහර රෝගීන්ට සුළු කාලයකට පපුවේ ගැස්මක් (palpitation) ඇති විය හැකිය. එසේම මෙම පරීක්ෂණයේ දී ඇතිවිය හැකි සංකූලතා අතරට කැතීටරය තුළට ඇතුළු කරන වර්ණකය නිසා අසාත්මිකතාවයක් ඇති වීම, රුධිරය ගැලීම , මැණික් කටුව හෝ ඉකිළිය ප්‍රදේශය සිදුරු කර කැතීටරය ඇතුළු කිරීමේදී එහි ඇති ධමනිවලට සුළු හානි සිදුවීම, ඇතුළු කරන වර්ණකය නිසා වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වීම ආදිය සිදුවිය හැකිය. බොහෝ විට මෙම දුර්වලතාවය දින කිහිපයකින් මගහැරී යයි. තමාට යම් අසාත්මිකතාවක් ඇත්නම් රෝගියා ඒ පිළිබඳව තම වෛද්‍යවරයාට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දන්වා සිටිය යුතුය. එසේ සිදුවී ඇති විටෙක යම් යම් ඖෂධ මගින් ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාවේදී ඇතිවිය හැකි අසාත්මිකතා වළක්වා ගත හැකිය. ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය සඳහා නිරාහාරව සිටින කාලයට පෙර සහ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයෙන් පසුව රෝගියාට වතුර පානය කිරීමට ලබාදීමෙන් මෙම වර්ණකය නිසා ඇතිවිය හැකි වකුගඩු දුර්වලතාවය බොහෝ දුරට මගහරවා ගත හැකිය.

ඉතාමත්ම කලාතුරකින් ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය නිසා හෘදයාබාධයක් ඇතිවීම හෝ අංශභාග තත්ත්වයක් ඇතිවීම සිදු විය හැකිය. නමුත් මෙවැනි අවස්ථාවක රෝගියා රෝහල තුළ සිටින ඉතා නිසා අවශ්‍ය ප්‍රතිකාර ක්ෂණිකව ලබාදීමට පහසුව සැලසේ.

ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය නිසා රෝගියාගේ කිරීටක ධමනි අවහිරතාවය පිළිබඳ ලැබෙන තොරතුරු ප්‍රමාණය අනුව බලන කල මේ නිසා ඇතිවිය හැකි සංකූලතා ප්‍රමාණය ඉතා සුළු ය. එනිසා ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කරවා ගන්නා ලෙස යම්කිසි අවස්ථාවකදී ඔබට වෛද්‍යවරයා නියම කළ හොත් ඊට මුහුණ දීම ඔබේ යහපත පිණිස හේතු වෙයි. මෙම පරීක්ෂණය දිවයිනේ ප්‍රධානතම රජයේ රෝහල් ගණනාවක සහ පෞද්ගලික රෝහල් ගණනාවක ම සිදුකර ගැනීමේ පහසුකම ඇත.

හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ

විනිවිද සායනය