මොනවද මේ ස්ටෙන්ට් දානවා කියන්නේ? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

අපේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය කිරීටක ධමනීන් ඔස්සේ පරිවහනය වෙනවා. යම් ලෙසකින් කිරිටක ධමනියක් අවහිර වූණොත් හෘදය වස්තුවට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය නිසි පරිදි සිදුවන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී අපට විවිධ රෝග අපහසුතාවන් දැනෙන්න පටන් ගන්නවා.

හෘදය වස්තුවේ ධමගින් අවහිර වන්නේ ඇයි?

  •  කිරීටක ධමනීන්හි අවහිරතාවට විවිධ හේතු බලපානවා. රුධිරනාල බිත්තියේ කොලස්ටරෝල් තැන්පත් වී අවහිර වීම.
  •  අධික රුධිර පීඩනය
  • පවුල් ඉතිහාසය
  • අහිතර ජීවන රටාව – ආහාර, ව්‍යායාම, අධික ශරීර බර හෙවත් තරබාරුව, මද්‍යසාර භාවිතය.

කිරීටක ධමනි අවහිරතාවන් පරීක්ෂා කරන කොරනරි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය යනු කුමක්ද? (Coronary angiogram)

හෘදයට රුධිරය සපයන නාළවල ඇති අවහිරතා පරික්ෂා කරන පර්ක්ෂණය Coronary ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය යනුවෙන් හඳුන්වනවා. බොහෝ දෙනෙකු මෙය ‘ඩයි පරීක්ෂණය’ යනුවෙන් හඳුන්වනවා.

මෙම පරික්ෂණයේදී කැතීටරයක ආධාරයෙන් රෝගියාට ඩයි විශේෂයක් එන්නත් කරනවා. එයින් අනතුරුව එම ඩයි වර්ගයේ ගමන් මාර්ගය ගැන නිරීක්ෂණය කිරීම සිදුවනවා. හදවත දක්වා වූ ගමන් මාර්ගයේදී එන්නත් කළ ඩයි වර්ගය කිරීටක ධමණීන් ආශ්‍රිතව නැවතෙන ස්ථාන හඳුනා ගන්නවා. එම ස්ථානයන්හි ඇති අවහිරතාවන් මෙහිදී නිවරැදිව හඳුනා ගැනීමට පුළුවන්.


කිරීටක ධමනීන්හි ඇති අවහිරතාව නිසා හෘදය වස්තුවට අවශ්‍ය රුධිර සැපයුම නිසි පරිදි සිදු නොවන විට ඇතිවන වේදනාකාරී තත්ත්වය (Angina Pectoris) යනුවෙන් හැඳින්වෙනවා. මෙවැනි අවදානමක් ඇති හෘද රෝගියකුගේ හෘදය වස්තුවට රුධිර සැපයුම නැති වී හෘදයාබාධ තත්ත්වයන් පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.

කිරීටක ධමනියක අවහිරතාවක් හඳුනාගත් විට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

  • මෙවැනි අවහිරතාවක් හඳුනාගත් විට රුධිර කැටි අඩු කිරීම සඳහා ඖෂධ ලබාදීම
  • රුධිර කැටි හිරවීම වැළැක්වීම සඳහා රුධිරය තුනී කරන ඖෂධ ලබාදීම
  • දැනට රෝගියාට ඇති අවදානම් සාධක (දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලස්ටරෝල් සංයුතිය) සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබාදීම
  • යහපත් ජීවන රටාවක් අනුගමනය කීරීම (ආහාර, ව්‍යායාම සහ ශරීර බර)

ප්‍රතිකර්ම දෙකක් තිබෙනවා

· ස්ටෙන්ට් ප්‍රතිකර්මය

· බයිපාස් සැත්කම

ස්ටෙන්ට් ප්‍රතිකාරයද? බයිපාස් ප්‍රතිකාරයද? යන්න තීරණය කිරීම

Coronary Angiogram පරික්ෂණයෙන් පසු රෝගියාට වඩාත් සුදුසු ස්ටෙන්ට් ප්‍රතිකාරයද? එසේත් නැත්නම් බයිපාස් සැත්කමද බැව් තීරණය කරනවා. මෙහිදී වෛද්‍යවරයා විසින් වඩාත් සුදුසු විකල්පය තීරණය කර ඒ බව රෝගියා සමග සාකච්ඡා කිරීමෙන් බයිපාස් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයද යන්න තීරණය කරනවා. සමහර විට අවහිරතා අඩු නම් ස්ටෙන්ට් ප්‍රතිකාරයට තෝරාගන්න පුළුවන්. ඒ වගේම බයිපාස් ශල්‍යකර්මය කළයුතු වුණත් වයස, රෝගියාගේ වෙනත් රෝග සංකූලතාවන් ඇතිවිටත් ස්ටෙන්ට් ප්‍රතිකාරය කිරීමට සිදුවනවා.

ඒ වගේම අවහිරතා කීපයක් ඇතිවිට වගේම හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩු සහ ප්‍රධාන ධමනීන්හි අවහිරතා ඇත්නම් බයිපාස් සැත්කම් වඩාත් සුදුසු වෙනවා.

කිරීටක ධමණි සුවිකාර්යතාවය (ස්ටෙන්ට් ප්‍රතිකර්මය) (Coronary Angioplastity) යනු කුමක්ද?

කිරීටක ධමනියක ඇති අවහිරතාවක් ඉවත් කිරීමට ඇති ඉතා දියුණු ප්‍රතිකර්මයක් ලෙස ස්ටෙන්ට් ප්‍රතිකර්මය හඳුන්වන්න පුළුවන්.

ස්ටෙන්ට් එකක් යනුවෙන් හඳුන්වන්නේ ඉතා සිහින් ලෝහමය දඟරයක්, ස්ටෙන්ට් ප්‍රතිකර්මයේදී මෙම සිහින් ලෝහමය දඟරය මගින් අවහිර වූ රුධිරනාලය විස්තාරණය කර අවහිරතාව ඉවත් කරනවා.

Coronary Angioplastity පරික්ෂණය සිදුකිරීමට සිහි නැති කිරීමක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් හිරි වැට්ටවීමක් සිදුකරනවා. මෙහිදී රෝගියාගේ අතේ වළලුකර හෝ ඉකිලි ප්‍රදේශයට හිරි වැට්ටවීම සඳහා එන්නත් ලබා දෙන අතර එම ස්ථානයේ පිහිටි රුධිර නාලයට ඇතුළු කරනවා. ස්ටෙන්ට් එක මත බැලූම රඳවලා අවහිරතාව ඇති ස්ථානයට ස්ටෙන්ට් එක යවනවා. මෙම පරීක්ෂණය සඳහා පැයක පමණ කාලයක් ගතවනවා. දින දෙකකින් පමණ රෝගියාට නැවත නිවසට යන්න පුළුවන්.

බයිපාස් සැත්කම

බයිපාස් සැත්කමේදී හෘදය වස්තුවේ අවහිර වුණා රුධිර නාළ වෙනුවට විකල්ප රුධිර නාළ සකස් කිරීමත් සිදුවනවා. සරලව කිව්වොත් මාර්ග අවහිරතාවයකදී විකල්ප මාර්ග සකස් කීරීමක් හා සමානයි.

බයිපාස් සැත්කම් අවශ්‍ය හෘද රෝගීන් කවුද?

සමහර විට කිරිටක ධමනි කීපයක අවහිරතා ඇති රෝගීන්ට වගේම ප්‍රධාන ධමනීවල අවහිරතාවන් ඇති විට බයිපාස් සැත්කම වඩාත් සුදුසුයි. ඒ වගේම හෘදයේ ක්‍රියාකාරිත්වය අඩු සහ වෙනත් රෝග සංකුලතාවයන් ඇති රෝගීන් වෙනුවෙන් බයිපාස් සැත්කම තෝරාගන්න වනවා. මෙහිදී හෘදය වස්තුව මතුපිට ඇති රුධිර නාළ වෙනුවට වෙනත් රුධිර නාළයක් බද්ධ කරනවා. සැත්කම් නිර්වින්දය ලබාදීමෙන් සිදුකරන අතර රෝගියාට දින කීපයක් රෝහල්ගතව සිටීමට සිදුවනවා.

ස්ටෙන්ට් ප්‍රතිකාර හෝ බයිපාස් සැත්කම කළත් නැවතත් කිරීටක ධමනි අවහිරතාවන් ඇතිවන්න පුළුවන්ද?

ඔව්. මෙම ක්‍රම දෙකෙන්ම කරන්නේ පවතින අවහිරතාවයන් ඉවත් කිරීමක්. නමුත් රෝගියාගේ ශරීරයේ කිරීටක ධමනි අවහිර වීමට බලපාන හේතු සාධක තිබෙනවා. ඒ නිසා එවැනි අවදානම් සාධක වළක්වා ගැනීම ඉතාමත් වැදගත්.

ලේ කැටි ගැසීම වැළැක්වීම සඳහා වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ප්‍රතිකාර ලබාගැනීම

  • ආහාර පාලනය
  • ව්‍යායාම කිර්ම
  • ශරීර බර අඩුකර ගැනීම
  • මත්පැන් සහ දුම්පානයෙන් වැළකීම

ඒ නිසා ඔබට හෘද රෝග සංකූලතා පිළිබඳ ඉතිහාසයක් ඇත්නම් අලුතින් අවහිරතාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා, බයිපාස් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් කියන්නේ ආරම්භයක්. එතැනින් ඔබ්බට ඔබේ හදවත ආරක්ෂා කරගැනීමේ ප්‍රතිලාභය ඔබ විසින්ම උපයා ගත යුතු බවත් තරයේම සිහි තබාගන්න.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

විනිවිද සායනය