රජයේ හෝ පුද්ගලික ඉඩම්වල වැලි, මැටි, ගල්, පස් කැනීම් වලට බලපත්‍ර දීමේ බලයක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට නැති බව දන්නවා ද?

sunilkan

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්ව ගෙදර යවා ඇත. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය නම් වූ රාජ්‍ය ආයතනය මෙරට රාජ්‍ය ආයතන වලින් දූෂිතම රාජ්‍ය ආයතනය ලෙස සැකයකින් තොරව නම් කළ හැකි ය. මේ ආයතනය අත්තනෝමතික ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය වැරදි නිවැරදි කිරීම වෙනුවට දූෂිතයින් හදමින් එළියට දමන “පැක්ටරියක්” ලෙස පාලනය කිරීම රටේ ආණ්ඩු විසින් කරගෙන යන සුපුරුදු කාර්යයකි. මේ ආයතනයේ අනීතික ක්‍රියාවලින් පිළිබඳ විවිධ කමිටු වල දී හුදකලා සටනක නිරත වීමට මා හට පසුගිය වසර පහළොවක පමණ කාලයේදී සිදු විය. දැනට මේ කාර්යංශය විසින් සිදුකරමින් සිටින පස්, ගල් හා වැලි කැනීම ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය කවර ලෙසකින්වත් නීතියෙන් එම ආයතනයට පැවරී නැති ක්‍රියාවලියකි. නීතියේ පදනම පවා චේතනාන්විතවම උල්ලංඝණය කරමින් සිදුකර ගෙන යන මේ ක්‍රියාවලිය ගැන කාර්යංශය භාර අමාත්‍යංශය ද නීතියේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන ස්වේච්ඡා සංවිධාන ද බුද්ධිමතුන් ද නිහඬ ය.

ආයතනය පාලනය කරන ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් මේ ආයතනය අනීතිකව ක්‍රියාත්මක කරන පස්, ගල්, වැලි බලපත්‍ර ක්‍රමය තම හිතවතුන් ගේ අභිවෘධියට යොදා ගෙන එයින් තමනුත් ප්‍රයෝජනය ලබන නිසා කිසි දින මේ නීති විරෝධී තත්වය නිවැරදි කරන්නේ නැත. අමාත්‍යංශ ලේකම්වරුන් බොහොමයක් දෙනාට නීතිය වන්නේ ඇමති තුමාගේ හා ජනාධිපති තුමාගේ “ශ්‍රී මුඛයෙන් වදාරන දේ” පමණකි. එබැවින් ඔව්හු මේ ගැන කිසිදු උනන්දුවක් නොදක්වති. පාර්ලිමේන්තුවේ දී මහජනතාව නියෝජනය කරනවා යැයි කියමින් ස්වකීය පාපකාරී පංචස්කන්ධ සුධා ධවල වස්ත්‍රයෙන් ආවරණය කරගෙන බෙරිහන් දෙන දෙපැත්තේම අය බලන්නේ තම තමන් ගේ දිස්ත්‍රික්කවල මේ අනීතික පස්, ගල් හා වැලි බලපත්‍ර ක්‍රමය තම පාලනය යටතට ගෙන මුදල් උපයා ගැනීමට ය. ඒ හැරුණු කොට ඒ ගැන විමර්ශනශීලීව සලකා බැලීමට නොවේ. රටේ අනිකුත් බොහෝ නිලධාරීන් හිතන්නේ රට නීතියකට අනුව පාලනය කිරීමට වඩා ආණ්ඩුවට අවශ්‍ය ලෙස පාලනය කරදීම තමන්ගේ කාර්යය බව ය. එහෙව් රටක මේ හෙළිදරව්ව ද ගඟට කැපූ ඉනිමෙන් වෙන බව සක්සුදක් සේ පැහැදිලි ය. නමුත් රට පාලනය සිදුවන්නේ බලවත් සේ අනීතිකව බව බුද්ධියක් ඇති අයටවත් තේරුම් ගැනීමට මේ කරුණු පෙන්වාදීම කළ යුතුව ඇත.

අප රටේ ඛනිජ වර්ග පාලනයට අදාලව නීතිය විකාශය වූ අන්දම බලමු. ඛනිජ වර්ගයක් පාලනයට සම්මත කළ මුල්ම නීතිය වනුයේ 1813 අංක 21 දරණ රජය සතු ලුණු තොගවල ආරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දුන් රෙගුලාසි මාලාවයි. මීට පසුව 1836 අංක 3 දරණ රෙගුලාසි මාලාවෙන් ලුණු නිෂ්පාදනය හා පාලනය ද රජය යටතට පත්කරන ලදී. ලුණු අරබයා වූ මේ නෛතික බලය පරිපූර්ණයට පත් වුණේ 1890 අංක 6 දරණ ලුණු ආඥා පණත සම්මත කිරීමෙනි.

ඒ අනුව ලුණු නම් වූ ඛනිජ වර්ගය 1992 වසර දක්වාම පාලනය වූයේ ලුණු ආඥා පණතිනි.ඊළඟට 1890 අංක 5 දරණ මැණික් ගැරීම පිළිබඳ ආඥා පණත සම්මත කරන ලදී. 1896 අංක 2 දරණ පතල් කැනීම් හා යන්ත්‍රෝපකරණ ආරක්ෂා කිරීමේ පණත සම්මත කර පතල් කර්මාන්තය නියාමනයට රජය කටයුතු කළේ මැණික් ගැරීම හා වෙනත් ඛනිජ වර්ග (මිනිරන් වැනි) සඳහා පතල් කැනීමේදී සඳහා අවශ්‍ය සුරක්ෂිතතාව පවත්වාගෙන යාම උදෙසා මැදිහත් වීමට ය. මේ වන විටත් ඉඩමක ඇති ඛනිජ ද්‍රව්‍ය අයත් වූයේ ඉඩම අයිතිකරුට මිස රජයට නොවේ. රජයේ අයිතිය ඛනිජ ද්‍රව්‍ය වලට තිබුණේ රජයේ ඉඩම්වල එකී ඛනිජ වර්ගය ඇති අවස්ථා වල පමණි. පුද්ගලික ඉඩම් වල ඛනිජ ,ඉඩම අයිති පුද්ගලයා සතු වූ අතර ඔහු පතල් කැනීමේදී 1896 අංක 2 දරණ ආඥා පණත ප්‍රකාරව පැන වූ ප්‍රමිතීන් පවත්වා ගත යුතු විය.

ඛනිජ නොවන පස්, ගල්, කබොක්, මැටි වැනි දේවල් කැනීමේ ප්‍රමිතීන් නියම කිරීම සඳහා වෙනම ආඥා පණතක් 1889 අංක 8 දරණ ගල් වලවල් පිළිබඳ ආඥා පණත ලෙස සම්මත කෙරිණි. මේ අනුව අඩි 32ට වඩා ගැඹුරු මැණික් පතල් හා වෙනත් ඛනිජ වර්ග සඳහා වන පතල් කැනීම් සඳහා වන ප්‍රමිතීන් නියම කෙරුණේ පතල් කැනීම් හා යන්ත්‍රෝපකරණ ආරක්ෂාව පිළිබඳ ආඥා පණතිනි. අඩි 32ට වඩා අඩු මැණික් පතල් හා ගල්, මැටි, පස්, කබොක් ආදිය සඳහා කළ කැනීම්වල ප්‍රමිතිය ආරක්ෂා කළේ ගල් වලවල් පිළිබඳ ආඥා පණතිනි. 1947 අංක 55 දරණ පතල් ගල් වලවල් හා ඛනිජ ද්‍රව‍ය පිළිබඳ ආඥා පණතින් ඉහත මැණික් ගැරීමේ ආඥා පණතත් පතල් කැනීම් ආරක්ෂාව පිළිබඳ ආඥා පණතත් ගල් වලවල් පිළිබඳ ආඥා පණතත් අවලංගු කර එකී පණත් තුනේම විධි විධාන ඒකාබද්ධ කර පතල් ගල් වලවල් හා ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ ආඥා පණත පනවන ලදී. ඒ අනුව 1947 අංක 55 දරණ ආඥා පණත සම්මත වීමෙන් පසු ගැඹුරු මැණික් පතල් හා වෙනත් ඛනිජ වර්ග සඳහා වන පතල් කැනීම් නියාමනය පතල් පරීක්ෂකවරුන් විසින් සිදු කිරීමට බලය පැවරුණු අතර රජයට අයත් ඛනිජ වර්ග එනම් රජයේ ඉඩම්වල ඇති ඛනිජ වර්ග පාලනයට රජයේ ඛනිජ විද්‍යාඥයෙකු පත් කෙරුණි.

පුද්ගලික ඉඩම්වල තිබූ ඛනිජ වර්ග පුද්ගලයන් සතු වුවත් පතල් කැනීමේදී රජයෙන් නියම කළ ප්‍රමිතීන් ආරක්ෂා කිරීම අනිවාර්යය විය. මේ ප්‍රමිතීන් පෞද්ගලික පතල්වල සුරැකේ ද? යන්න පරීක්ෂාවට පතල් පරීක්ෂකවරුන් පත් කර තිබුණි. ගල් වලවල් වල ප්‍රමිතීන් පරීක්ෂා කිරීම සඳහා බලපත්‍ර ලබාදීම පළාත් පාලන ආයතනයටත් පළාත් පාලන ආයතන වලට අයත් නොවන ස්ථානයක ආණ්ඩුවේ ඒජන්ත භාරයටත් පැවරුණි. ඒ අනුව ඛනිජ වර්ග හෝ මැණික් වල අයිතිය ඉඩම අයිති අය සතු වූ බැවින් ඒ වෙනුවෙන් රජය ගාස්තු අයකර බලපත්‍ර ප්‍රදානයක් නොකළ අතර පතල් කැනීම්වලදී රජය නියම කළ ප්‍රමිතිය සුරැකේ ද? යන්න පතල් පරීක්ෂකවරුන් මගින් දැඩිව අධීක්ෂණය කරන ලදී. මේ පනතේ ගල් වලවල් හා පතල් සඳහා වෙන වෙන අර්ථ දැක්වීම් ද තිබුණි.1968 අංක 6 දරණ විකිරණශීලි ඛනිජ පණත අප රටේ ඛනිජ සම්පත් නීතියේ විකාශයේ වැදගත් අවස්ථාවකි.මේ නීතිය පැනවීමෙන් පසුව විකිරණශීලි ඛනිජ සියල්ල පාලනය විෂය භාර අමාත්‍යවරයාට පැවරුණි. මේ පණතේ ඛනිජ ලෙස හැඳින්වූයේ පස තුළින් හෝ මතුපිටින් ලබා ගන්නා හෝ ලබා ගතහැකි සියලුම ඛණිජයි.

සියලුම ඛනිජ යන්නට යුරේනියම් තෝරියම්, බෙරිලියම් හා ලිතියම් හෝ ඒවායේ මිශ්‍රණයන් හා පරමානුක ශක්තිය නිපදවීමට යොදා ගන්නා සියලු ඛනිජ වර්ග ලෙසයි. 1973 අංක 4 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පණත අප රටේ ඛනිජ නීතියේ ප්‍රධාන සන්ධිස්ථානයකි. රටේ ඕනෑම ඉඩමක ඇති ඛනිජ ඉඩමේ අයිතිය කවරෙකු සතු වුණත් ජනරජය භාරයට පත්වන බවට පළමු වරට නීතියක් සම්මත කෙරුණේ මේ පණත මගිනි. එකී ඛනිජ සම්පත් පාලනය සඳහා භූ විද්‍යා සමීක්ෂණ අධ්‍යක්ෂවරයාට බලය ලබා දීම මේ පණතින් සිදුකෙරුණු අතර ඒ කාර්යය සඳහා භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව ද ආරම්භ කරන ලදී. මේ අනුව ප්‍රථම වතාවට රටේ මුළු මහත් භූමියේම ඇති ඛනිජ සම්පත ජනරජය සතු කර ඛනිජ කැනීම පිළිබඳව පාලනය භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීම ඇරඹුණේ 1973 අංක 4 දරණ පණත ප්‍රකාරව ය. මේ වන විටත් මැණික් ගැරීමේ ක්‍රියාවලිය පාලනය සඳහා 1971 අංක 13 දරණ රාජ්‍ය මැණික් සංස්ථා පණත ප්‍රකාරව මැණික් සංස්ථාව ද ස්ථාපිත කර මැණික් සම්පතේ පාලනය ද මුළුමනින්ම රජය සතු කරගන්නා ලදී. ඒ අනුව 1974 වන විට ඛනිජ සම්පතේ රජයේ අයිතිය ක්‍රියාත්මක වුණේ ආයතන පහක් මගිනි. ඒවා නම්

1. ලුණු කොමසාරිස් දෙපාර්තමේන්තුව – ලුණු පාලනය.
2. කර්මාන්ත අමාත්‍යංශය – විකිරණශීලි ඛනිජ පාලනය.
3. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව – ඛනිජ තෙල් ආශ්‍රිත ද්‍රව්‍ය පාලනය.
4. රාජ්‍ය මැණික් සංස්ථාව – මැණික් සම්පත ගැරීම පාලනය.
5. භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව – සෙසු ඛනිජ ද්‍රව්‍ය පාලනය.

පස්, ගල් හා වැලි, මැටි ආදී ද්‍රව්‍ය වල පාලනය පිළිබඳවත් කරුණු අවබෝධ කරගැනීම මෙහි දී කළ යුතු ය.රටේ පස්, ගල්, වැලි, මැටි ආදී දේවල් වල අයිතිය කවර අවස්ථාවකවත් ජනරජය සතුකර නැති අතර එසේ ජනරජය සතු කිරීමට ද නොහැකිය. ඉඩමක අයිතිය ගැන නීතියේ සම්මතය වන්නේ ඉඩමේ පසට ඇති අයිතියයි. ඒ අනුව ඉඩමක් පුද්ගලික අයිතියේ ඇත්නම් ඒ ඉඩමේ පස අයත් වන්නේ අයිතිකරුට ය. ගල්, පස්, වැලි, මැටි වැනි දේවල් ඛනිජ නම් 1973 අංක 4 නීතිය අනුව ඒ සියල්ල ජනරජය සතු වේ. එවිට රටේ සියලුම ඉඩම්වල අයිතිය ද ජනරජය සතුවන බැවින් පස්, ගල්, වැලි ඛනිජ සේ අර්ථ දැක්වීමෙන් නීතිමය වශයෙන් බලවත් අවුලක් මතු වේ. ඒ නිසාම 1973 අංක 4 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පණත සම්මත වූ පසුවත් ඛනිජ ද්‍රව්‍ය යටතට පත් වූයේ නැත. එසේ නම් මේවා පාලනය වූයේ කෙසේද? පස්, ගල්, වැලි, මැටි ඉඩම, අයිතිකරු සතු වූ නිසා රජයේ ඉඩම් වලින් ඒවා ලබාගැනීම සඳහා නීතියක් සැකසුණේ 1886 දී ය. ඒ කැලෑ ආඥා පණතයි.

කැලෑ ආඥා පණතේ පස්, ගල්, වැලි, මැටි වැනි දේ හැඳින්වනුයේ ඛනිජ ද්‍රව්‍ය ලෙසයි. වනාන්තර හරනයකින් ඛනිජ ද්‍රව්‍ය ඉවත් කිරීමේදී බලපත්‍ර ප්‍රදානය කිරීමට අවශ්‍ය විධිවිධාන කැලෑ ආඥා පණත යටතේ සම්පාදනය කෙරිණි. ඛනිජ ද්‍රව්‍ය අරභයා වනාන්තරයක් යනු සියලුම රජයේ ඉඩම් ලෙස ඒ ආඥා පණතේ අර්ථ දක්වා ඇත. ඒ අනුව රජය සතු ඕනෑම ඉඩමකින් වැලි, මැටි, ගල්, හෝ පස් ඉවත් කිරීමට කැලෑ ආඥා පණත යටතේ නියමිත ගාස්තු ගෙවා බලපත්‍රයක් ලබා ගත යුතුය. පුද්ගලික ඉඩමකින් පස්, ගල්, මැටි හෝ වැලි ඇතුළු ඛනිජ නොවන දෙයක් කැනීම හෝ ඉවත් කිරීමට බලපත්‍ර ගත යුතු යැයි නියමයක් නීතියෙන් කර නැත.

1992 අංක 38 දරණ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශ පණත සම්මත කිරීමේ අරමුණ වුණේ ඛනිජ තෙල් හා මැණික් හැර අනෙකුත් සියලු ඛනිජ වර්ග පාලනයට එක් රාජ්‍ය බල අධිකාරියක් ස්ථාපිත කිරීම ය. ඒ අනුව ලුණු ආඥා පණත විකිරණශීලි ඛනිජ පණත හා පතල් හා ඛනිජ ද්‍රව්‍ය පණත යන පණත් තුනම අහෝසිකර ඛනිජ වර්ග සියල්ල පාලනය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය ස්ථාපිත කර ඊට අවශ්‍ය නෛතික බලය ද ඒ ආයතනයට පවරා එතෙක් භූ විද්‍යා දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය ද කාර්යංශය වෙත පවරන ලදී. මේ අනුව භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශයට බලය ලැබී ඇත්තේ ඛනිජ සම්පත සඳහා ගවේෂණය කිරීම, කැනීම් කිරීම, ප්‍රවාහනය,සැකසීම, ගබඩා කිරීම හා අපනයනය සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීම හා ඒ ආශ්‍රිත නියාමනයන්ට පමණි. ඊට ප්‍රධානම සාක්ෂි 1992 අංක 38 පණතේ 26, 45 හා 46 වගන්ති වල සඳහන් කර ඇත.

“26 වගන්තිය”,
ඛනිජ පිහිටා ඇති පස කවරෙකුට අයත් වුවත් පස තුළින් යටින් හෝ මතුපිටින් සොයා ගන්නා ඛනිජ ජනරජය සතු වන බවත් ඛනිජ සඳහා කැනීම, ප්‍රවාහනය, සැකසීම, අපනයනය ආදියට පනත යටතේ නිකුත් කළ බලපත්‍රයක් මත පමණක් කළ යුතු බව සඳහන්වේ. (මේ වගන්තියෙන් පස් හා ඛනිජ යනු වර්ග දෙකක් බවත් ඛනිජ අයිතිය පමණක් රජය සතුකර ඇති බවත් පැහැදිලි වේ.)

“45 වගන්තිය”
කවර ඉඩමකට හෝ යුක්ති සහගත වෙලාවකදී ඇතුලු වී මාත්තු බැලීමේ කාර්යය සඳහා පස් පාෂාණ වැලි හෝ ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීමට කාර්යංශයේ නිලධාරීන්ට බලය ඇති බව සඳහන් ය. (මේ වගන්තියෙන් පස් පාෂාණ නැතිනම් ගල්, වැලි හා ඛනිජ ද්‍රව්‍ය යනු වර්ග හතරක් බවත් පැහැදිලි වේ.)

“46 වගන්තිය”
ඛනිජ වර්ග පිළිබඳ විමර්ශනය කරන කාර්යංශයේ නිලධාරීන්ට හෝ කාර්යංශයෙන් බලය ලත් අයට යම් ඉඩමකට ඇතුලු වී පෘෂ්ඨය බිඳ පස් පාෂාණ ඛනිජ ද්‍රව්‍යන් හි ආදර්ශ රැගෙන යා හැකි බව සඳහන් ය. (මේ වගන්තියෙනුත් පස්, ගල් හා ඛනිජ යනු වෙන වෙන වර්ගවලට අයත් දේ බව වැඩිදුරටත් පැහැදිලි වේ.) පස්, ගල්, වැලි හා මැටි වැනි දේවල් ඛනිජ නොවන නිසා ඒවා අයිති වන්නේ ඉඩම අයිතිකරුට බැවින් ඒවා කැනීමට අවසරය ගත යුත්තේ ඉඩම අයිති කරුගෙනි. රජයට අයිති ඉඩම්වල ඒවා ලබා ගැනීමට කැලෑ ආඥා පණතෙන් නීතිමය විධිවිධාන පනවා ඊට අය කළ යුතු ගාස්තු නියම කිරීමේ බලය ද ලබා දී ඇත. ඒ නීතිය අදටත් බලාත්මක ය. ප්‍රාදේශීය ලේකම්වරුන් වන සංරක්ෂණදෙපාර්තමේන්තුව තමන්ගේ පාලනයේ ඇති රජයේ ඉඩම්වල ඒ ගාස්තු අදත් අයකර ගනිමින් සිටිති. පුද්ගලික ඉඩමක පස්,ගල් කැඩීමට ඉවත් කිරීමට බලපත්‍ර ගතයුතු යැයි නීතියක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නම් පනවා නැත. නමුත් ඒ කටයුතුවලදී සලකා බැලිය යුතු නිතීමය රාමු නම් ඇත.

ගල් කැඩීමට පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීමට නම් පුපුරණ ද්‍රව්‍ය ආඥා පණත ප්‍රකාරව බලපත්‍ර ගතයුතු ය. පුරාවිද්‍යාත්මක නටබුන් සහිත නම් පුද්ගලික ඉඩමක වුව ද ගලක් කැඩීම පුරාවස්තුවකට හානි කිරීමකි. එය ඇප නොලැබෙන වරදකි. තව පරිසර නීති පළාත් පාලන ආයතනවල නීති ආදී නීති වලට පුද්ගලික හෝ රජයේ ඉඩම්වල පස්, ගල්, වැලි, මැටි කැනීම් යටත් ය. නමුත් භූ විද්‍යා කාර්යංශයට රජයේ හෝ පුද්ගලික ඉඩම්වල වැලි, මැටි, ගල්, පස් කැනීම් වලට බලපත්‍ර දීමට බලයක් නැත. මේ අනීතික මැදිහත් වීම කරන්නේ මේවායින් ලැබෙන දැවැන්ත ආර්ථික වාසිය ඉලක්ක කර ගෙන ය. ඒ තුළින් මහා පරිමාන දූෂණයක් සිදුවන අතර දේශපාලකයින්ට රජයේ නිලධාරීන්ට හා කාර්යංශයේ නිලධාරීන්ට ද අති මහත් ධනයක් අනීතිකව උපයා ගැනීමට මඟපාදා දී තිබේ.එ නිසා මේ කරුණු නොදැක්කා සේ නොඇසුණා සේ සිටීමට පුරුදුව සිටිති. අනීතිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරි ජනාධිපතිවරයා ගේ ක්‍රියාව නිවැරදි යැයි පැය ගාණක් කරුණු කියා සිටි නීති උපදේශකයන් සිටින රටේ ඇමති වරුන් නිලධාරීන් මීට ද වඩා අනීතික ක්‍රියාවන් කළ ද නඩු යන්නට කෙනෙක් නැත. ඒ නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේම නිසාය.

සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර සහ අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර