2025 රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති නමුත් දැනට වෙන් වී ඇති මුදල් මේ සඳහා ප්‍රමාණවත් නොවන බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණෝ පැවසූහ. එසේම ඒ සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසුම් කොට නොමැති බවත් ස්ථාන නඩත්තු කටයුතු සඳහා පිරිසක් නොමැති බවත් නායක හිමියෝ අවධාරණය කළහ.පොසොන් උළෙල යනු ශ්‍රී ලාංකිකයන් හට පමණක් ආවේණික එකම උත්සවය බවත්, ආලෝක පූජාව, දන්සල් සංකල්පය මුලින්ම ආරම්භ වූයේ ද මේ ආශ්‍රයෙන් බවත් උන් වහන්සේ සිහිපත් කළහ.
නමුත් ඒ සඳහා ඉහළින් කළ ඉල්ලීම් මේ දක්වාත් ඉටු නොවීම නිසා සියලු දෙනා අපහසුතාවට පත්වන බව ද වහන්සේ සඳහන් කළහ.උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ පොසොන් උත්සව කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා මිහින්තලේ රාජමහා විහාර මැද මළුවේදී පැවැති සාකච්කඡාවක දී ය.මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්තී නාගහවත්ත, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුලු ජනාධිපති ලේකම් කාර්යාලය සහකාර ලේකම්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පොලිසිය ත්‍රිවිධ හමුදාව ඇතුලු ආයතනවල රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක ඇතුලු පිරිසක් ද එක් වූහ.