රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීමට මැති ඇමතිවරුන් පෙළඹෙන්නේ ඇයි?

අමාත්‍යාංශ ලේකම්වරුන් ද ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් ගණන් නොගන්නා බවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඉකුත්දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති බවක්.පසුගියදා පළ වී තිබූ පුවත්පත් වාර්තාවක සඳහන් විය.
ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්ම සංස්ථා සභාපතිවරුන් ද මැති ඇමැතිවරුන්ගේ දුරකතන ඇමතුමකට පවා පිළිතුරු නොදෙන බව පවසා ඇති නියෝජ්‍ය කතානායකවරයා ඔවුන් මැති ඇමතිවරුන්ගේ දුරකතන ඇමතුම්වලට නිසි ගෞරවයක් හෝ සැලකිල්ලක් නොදක්වන බව ද සඳහන් කර ඇත.
මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය මහජනතාවගේ ගැටලු‍වලට විසඳුම් දෙන්නේ කෙසේද? යන්න සිතා ගත හැකි බව ද ඔහු සඳහන් කර ඇත.මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ජනතා ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දෙන්නැයි එම නිලධාරීන්ට දැනුම් දෙන ලෙස ද නියෝජ්‍ය කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඉහත පුවත්පත් වාර්තාව මෙහි ගෙන හැර දක්වන ලද්දේ ඒ සඳහා පසු වදනක් සැපයීමේ අරමුණ ඇතිව ය. මෙමගින් ගම්‍ය වන්නේ රාජ්‍ය සේවය සම්බන්ධ ඛේදජනක යථාර්ථයයි. අපේ රටේ දේශපාලනය බෙහෙවින් පිරිහී ඇති නිසා ඔවුන්ට කන් දිය යුතු නැතැයි රාජ්‍ය නිලධාරීන් කල්පනා කරනු විය හැකිය. නමුත් මෙය එලෙස ලඝු කොට සැලකිය නොහැකි නොහැකි කාරණාවකි. මන්ද රාජ්‍ය නිලධාරියා යනු ජනතාවගේ බලයක් වන බැවිනි.
ජනතාව විසින් රජයක් පිහිටුවා ගන්නේ තමන්ට තනි තනිව විසඳා ගන්නට නොහැකි ප්‍රශ්න විසඳා ගන්නට ය. එනිසා රජයේ කාර්යභාරය වන්නේ මහජනතාවට විසඳා ගත නොහැකි ගැටලු විසඳා දීමය. ඒ සඳහා පවතින ව්‍යුහය රාජ්‍ය නිලධාරියා යි.

මහජනතාවගේ ගැටලු විසඳීමේ ක්‍රම කීපයක් තිබේ.

1. ග්‍රාම නිලධාරී / ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
2. මහජනතාව විසින් ඡන්දය ලබා දීම තුළින් පත් කරගන්නා ලද නියෝජිතයින්
3. ස්වේච්ඡා සංවිධාන, ජනමාධ්‍යවේදීන් වැනි අය

මෙලෙස මහජනතාවගේ ප්‍රශ්න රජය කරා ගෙන එන ක්‍රම ඇති අතර මේ ක්‍රියාවලිය අතරමැද සිටින්නේ රාජ්‍ය නිලධාරියා ය. නමුත් පොදුවේ රාජ්‍ය නිලධාරීන් කෙරෙහි මුළු මහත් සමාජයේම පවතින අප්‍රසාදය නිසාම තමන් හඳුනන අයෙක් ලවා හෝ එවැනි කෙනෙකුගේ මාර්ගයෙන් මැති ඇමැතිවරුන් වෙත ගොස් හෝ තමන්ගේ කාර්ය‍ය ඉටු කරවා ගැනීමට මහජනතාව දැන් පෙළඹී සිටිති. එවැනි බාහිර උපකාරයකින් තොරව රජයේ කාර්යාලයක් වෙත කෙළින්ම ගොස් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකිවේද යන සැකය ජනතාව තුළ පවතී.
රජයේ ආයතන 5S කළත්, අලංකාරය සඳහා තිර රෙදි දැමුවත් , මේ කුමන දෙයක් කළත් පලක් නැත. රජයේ නිලධාරීන් කෙරෙහි ජනතාව ගේ විශ්වාසය දැන් බිඳී හමාර ය.
“ආණ්ඩුවෙ කන්තෝරුවකින් වැඩක් කරව ගන්න යනව නම් අනික් වැඩ සේරම නවත්තලා මුළු දවසම එතන ගත කරන්න බලා ගෙන යන්න ඕනෙ”

මේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දී තිබෙන චරිත සහතිකය යි. නමුත් රාජ්‍ය නිලධාරීන් ගේ වගකීම තමන් වෙත පැමිණෙන ඕනෑම කෙනෙකුට සවන් දීම සහ ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සොයා දීමට උත්සාහ කිරීම ය. ඔවුන්ට වැටුප් ගෙවන්නේත්, අනෙකුත් පහසුකම් ලබා දෙන්නේත් මහජනතාවට සේවය ලබා දෙන්නට ය.
රාජ්‍ය නිලධාරීන් ගේ ලොකුම අඩුපාඩුව තීරණයක් ගත යුතු අවස්ථාවලදී නොපැකිලව තීරණ ගන්නට, ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගන්නට ඇති නොහැකියාවයි. මේ නිසා ” අසවල් නිලධාරියා නෑ. එයා අද නිවාඩු. එයා ළඟ ෆයිල් එක තියෙන්නෙ. වෙන දවසක එන්න ” වැනි දේවල් කියමින්, එක් එක්කෙනාට “බෝලය පාස් කරමින් ” තමා වෙතින් සේවය ලබා ගන්නට එන ජනතාව හරවා යැවීම ඉතාමත් නොහොබිනා ක්‍රියාවකි.

මේ ආකාරයට තමන්ගේ ගැටලුවට පිළිසරණක් නැති වූ විට දේශපාලඥයකුගේ මාර්ගයෙන් හෝ ඊට විසඳුමක් සොයා ගැනීමට ජනතාව උත්සාහ කරන්නේ නම් එය පුදුමයක් නොවේ. නමුත් නියෝජ්‍ය කතානායකවරයා පවසන අන්දමට දේශපාලඥයකුගේ දුරකථන ඇමතුමකටවත් පිළිතුරු දෙන්නට උනන්දුවක් නොදක්වන රාජ්‍ය නිලධාරීන් මහජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පිළිබඳව ඇත්තේ උභතෝකෝටික පැනයකි.
අනෙක් අතට දේශපාලඥයන් මීට මැදිහත් වන විට රාජ්‍ය සේ්වාවට දේශපාලඥයන් ඇඟිලි ගසන බව පවසමින් රාජ්‍ය නිලධාරීහු චෝදනා කරති. නමුත් තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නේ නම් කාටවත් ඇඟිලි ගසන්නට සිදු වන්නේ නැත.

මම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ පටන් පරිපාලන සේවයේ කටයුතු කළෙමි. උප දිසාපති වැනි තනතුරුවලින් පසු උසස් වීම් ලබා දිසාපති හෙවත් දිස්ත්‍රික් ලේකම්වරයකු ලෙස මට හැකි විය. දිස්ත්‍රික් ලේකම් තනතුරෙහි පමණක් මා කටයුතු කළ කාලය වසර දාහතරකි. ඒ කිසිදු කාලයක දේශපාලන බලපෑමක් මගේ රාජකාරි ජීවිතය තුළ මම අත්විඳ නැත්තෙමි. නමුත් රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව පිළිබඳව නම් මට ඕනෑ තරම් උදාහරණ ගෙන හැර දැක්විය හැකිය. මේ ඊට එක් නිදසුනක් පමණි .
මා දිස්ත්‍රික් ලේකම්වරයකු ලෙස කටයුතු කරන කාලයේ එක් කාන්තාවක් මා හමු වීමට පැමිණියාය. ඇය රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට යාම සඳහා ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිනිය වෙත ගොස් ඇත. එහිදී ග්‍රාම නිලධාරිනිය අදාළ සහතිකය ලබා දී තිබුණත් එහි එම කාන්තාවගේ චරිතය පිළිබඳව සඳහන් කර ඇත්තේ “හොඳ නැත” යනුවෙනි . මෙම සහතිකය සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ නොහැකි බැවින් ඇය මගේ උපකාරය අපේක්ෂා ක⁣ළාය. මම ඇගේ ග්‍රාම සේවා සහතිකයෙහි ඡායාපිටපතක් ගෙන පසුදිනම එම ග්‍රාම නිලධාරිනිය කැඳවා ⁣එම ඡායාපිටපත පෙන්වා එහි සඳහන් පෙර කී කරුණ පිළිබඳව ඇගෙන් විමසුවෙමි.

” ඔව් සර් එයාගෙ චරිතය නම් හොඳ නෑ කියල හැමෝම කියනව” ඇය පැවසුවේ තමන් ඉතා වැදගත් පුවතක් අනාවරණය කර ගත් පරිද්දෙනි .
” හරි. එහෙම නම් නීතියෙන් ඒ බව ඔප්පු වෙලා ඒ මනුස්සයට අච්චු කරල තියෙනවද?”
මම ඇගෙන් ඇසුවෙමි.
” එහෙම නම් නෑ සර්”
ඇය පිළිතුරු දුන්නේ මට නොව මහ පොළොවට ය.
” ග්‍රාම නිලධාරිනියක් වෙලත් ඔයා නීතිය ගැන දන්නෙ නැද්ද ? ඒ මනුස්සයා නීතියෙන් වැරදිකාරයෙක් වෙන්නෙ නැතුව ඔයා ඔය විදිහට චරිත සහතික ලියන්නෙ කොහොමද ? ඔයා චරිත සහතික ලියන්නෙ ගමේ ගෑනු මිනිස්සුන්ගෙ ඕපාදූප අහලද? යන්න. ඔයාගෙන් සිදු වුණු රාජකාරීමය වරදට හෙටම ඒ මනුස්සයාගෙන් සමාව ඉල්ලලා අලුතෙන්ම ඒ මනුස්සයාට චරිත සහතිකයක් ලියල දෙන්න. ඔයගොල්ලන් රජයේ නිලධාරීන් විදිහට වගකීමෙන් වැඩ කරන්න ”
එම නිලධාරිනිය පිටව ගිය පසු මම අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක් දී පසු දිනම ගොස් ග්‍රාමනිලධාරිනිය හමුවී අලුතින් ග්‍රාම සේවා සහතිකයක් ලියවා ගන්නා ලෙස පැවසුවෙම්. එහිදී සිදු වූ දේ මට දුරකථන ඇමතුමක් මගින් දන්වන ලෙස ද කීවෙමි.

කෙසේ හෝ ග්‍රාමනිලධාරිනිය මා පැවසූ ආකාරයට ම එම කාන්තාවගෙන් සමාව ඉල්ලා , ඉන්පසු සහතිකය හොඳින් ලියා දුන් බවද එම කාන්තාව මට දන්වා සිටියාය. අපේ රටේ රජයේ නිලධාරීන් සම්බන්ධ තවත් එක් පැතිකඩක් ලෙස මෙය හඳුන්වා දෙන්නට කැමැත්තෙම්.

සුනිල් කන්නගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර