ප්‍රකාශයක් ලබා දීම සඳහා අද ( 03) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.රාජිත සේනාරත්න මහතා ධීවර ඇමතිවරයා ව සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ කටයුත්තක් කොරියානු සමාගමකට ලබාදීමෙන් රජයට රුපියල් ලක්ෂ 200 කට අධික පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් සේනාරත්න මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරතිබේ.මෙම සිද්ධිය සම්බන්ධව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා රාජිත සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසයි.ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ බන්ධනාගාර රථයකින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙන ගොස් පැය පහකට ආසන්න කාලයකට පසු නැවත බන්ධනාගාරය වෙත රැගෙන පැමිණි බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.