වන්නි හත්පත්තුවේ බහිරව මුත්තා යනු කන්‍යාවන් බිළිගන්නා නිදන් රකින බඩ තඩි බහිරවයා නොවේ

අපගේ හිතවතකු ගේ නව ඉදිකිරීමක ගෙපල කැපීමක් පසුගිය දිනයෙක ගල්ගමුවේ, කුරුන්දන්කුලමේ දී සිදු කෙරිණ. එය මිනිසා සහ සොබා දහම අතර පවතින සබැඳියාව තීව්‍ර කරවන ව්‍යාපෘතියකට මුලපිරීමක් නිසා මම ද මහත් කැමැත්තෙන් ඒ අවස්ථාවට එක් වීමි. එම ඉදිකිරීම තැනීමට නියමිත ස්ථානයේ අත්තිවාරම් කැපීම පිණිස නූල් ඇද තිබූ අතර දේශීය ගැමි සංස්කෘතික ධාරාව යටතේ සිදුකෙරෙන බොහෝ ඉදිකිරීම් වලදී මෙන් ඒ අත්තිවාරම හතර පැත්තෙන් පහන් පැළ හතරක් ද ඉදි කොට තිබිණ.“කවුරු වෙනුවෙන්ද? මේ පහන් පැළවල් ඉදිකරලා තියෙන්නේ?” එහි ගෙපල කැපීමේ සුබ නැකත එළඹීමට පෙර මම ඒ ඉදි කිරීමේ කටයුතු භාර ගෙන සිටි ආර්. පී. සෝමරත්න මහතා ගෙන් ඇසීමි.

“ප්‍රධාන වශයෙන් අපේ බහිරව මුත්තා දේවතාවුන් වහන්සේලා වෙනුවෙන් තමයි ඉතින්. දැන් අපි මේ ඉඩම් කඩම් පරිහරණය කළාට මොකද? මේවායේ මුල් උරුමක්කාරයෝ උන්නාන්සේලා නේ. ඉතින් ඒ හින්දා මේ භූමිය මුල් කරගෙන යම් දෙයක් කරන කොට උන්නාන්සේලා ගෙන් කැප අවසර ගන්න සිරිතක් ඉස්සර ඉඳලම මේ පළාත්වල තිබුණා.එහෙම නොකර අපේ හිතුමනාපේ මේ මහ පොළොවට මොකක් හරි බලපෑමක් කළොත් ඒකෙන් අපි නොහිතන නරක ප්‍රතිඵල වුණත් එන්න පුළුවන්; අනික සමහරු මේවා විවේචනය කළාට මේ ගම් බිම වලට අරක් ගත්තු උන්නාන්සේලාට කියලා කරලා කැප අවසර අරන් මේ වගේ දේකට මුල පුරන එකේ ඇති වැරැද්දකුත් නැහැනේ” ඔහු ගත් කටටම කීයේ ඒ වදන් පෙළ තම නිරතුරුවම තම මුව’ග රැඳී ඇති බවක් පළ කරමිනි.

“හැබැයි ඉතින් මෙහෙම බහිරව පූජාවක් කරලා පොළොව කොටන්න පටන් ගත්තොත් සමහර විට මේ පොළොව යට තිබිලා නිධානයක් වුණත් මතු වෙන්න බැරි කමක් නෑ නේද?” සෝමරත්න මහතා මඳක් ඉවතට ගිය පසු මම ඒ ඉදි කිරීමේ මංගල පස් පිඩැල්ල කැපීමට නියමිතව සිටි ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එස්.කේ.විමලරත්න මහතා ගෙන් ඇසීමි.
”ඔන්න ඕක තමයි ඔය කොළඹින් එන මහත්තුරු හුඟ දෙනෙක් වරද්ද ගත්තු තැන”මගේ ඒ සරදම වටහා ගෙන හෝ නොගෙන ඔහු කීය.” අවුරුදු සිය දාස් ගාණක් රැකගෙන හිටපු කෝටි ප්‍රකෝටි ගණන් වටින ධන නිධාන කන්‍යාවන් බිල්ලට අරගෙන නිදන් හොරුන්ට දෙන අර බඩ තඩි බහිරවයාට නෙවෙයි; මෙහේ බහිරව මුත්තා කියන්නේ. මුන්නාන්සේ ලා ඊට වඩා බොහොම ගුණ යහපත්, නිවුණු ගති ගුණ තියන ධාර්මික අය. පුළුවන් නම් නිදන්වලට අරක් ගත් බඩ තඩි බහිරවයාගෙයි මේ පුරාණ වැව් ගම් වලට අරක් ගත්තු අපේ බහිරව මුත්තා දේවතාවුන්නාන්සේලාගෙයි වෙනස ගැන මොනවා හරි ලියන්නකො.දැන් ඉන්න හුඟ දෙනෙක් ඕවා දන්නෙත් නැති හින්දා”ඔහු කීයේ කොහේ වත් හිඳින බහිරවයකු කරන අකටයුතු කම් නිසා පරම්පරා ගණනක සිට වන්නි හත්පත්තු ජනතාවගේ ගෞරව බහුමානයට ලක් වන බහිරව මුත්තා දේවතාවුන් වහන්සේලාට යම් සමාජමය අගතියක් සිදුවීම වැළැක්වීමට මෙනි.

“නිදන් රකින බහිරවයා කියන්නේ වෙනම ජන විශ්වාසයක්; නමුත් මේ බහිරව මුත්තා තමයි මේ පළාත්වල ගම්බාර දෙවියෝ හැටියට සැළකෙන්නේ. බහිරව මුත්තා කියන එක නමකින් හැඳින්වුවත් මෙතන මුත්තා දෙවිවරු විශාල ගාණක් ඉන්නවා අයියනායක, කඩවර,කම්බිලි වගේ දෙවිවරු ඇදහුවට මේ පුරාණවැව් ගම්මාන වල මිනිස්සු තමන් ගේ ඉඩකඩම්, ඉදිකිරීම්, වගා කටයුතු ආදිය මුල් තරගෙන පුද පිළිවෙත් පවත්වන්නේ මේ බහිරව මුත්තා දේවතාවුන්නාන්සේලාට තමයි” ඒ අවස්ථාවට එක් වූ වෘත්තියෙන් දිස්ත්‍රික් පරිවාස හා ළමාරක්ෂක නිලධාරියකු වන ගල්ගමුවේ, උස්ගල සියඹලංගමුවේ මහේන්ද්‍ර දසනායක මහතා කීය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා විශේෂවේදී ගෞරව උපාධිධාරියෙක් ද වේ.

 

බහිරව යම නම ඇසුණු සැනින් අප බොහෝ දෙනකුගේ සිත් තුළට එක් වරම පිවිසෙන දෙයක් තිබේ. එනම් මිහි තුළ සඟවා ඇතැයි පැවසෙන රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වටිනා මහා ධන නිධානයන් ය. එමෙන්ම බිළි පූජා ආදිය මගින් බහිරවයා පහදවා ගැනීමෙන් යමකුට ඒ මහා ධන නිධානයන් අත්පත් කර ගත හැකි බවට ජන විශ්වාසයක් ද අප සමාජයේ තිබේ.

ප්‍රධාන වශයෙන් එම බහිරව විශ්වාසය දකුණු ඉන්දීය ද්‍රවිඩ, ඇදහීම් පද්ධතියක් ඔස්සේ ශ්‍රී ලාංකේය ජන සමාජයට අවශෝෂණය වූවක් බව පෙනේ. හින්දු ඇදහීම් වල එන ලෞකිකත්වයට අධිපති කුවේරගේ බල සේනාවට අයත් බහිරවයන් නව දෙනකු පිළිබඳව සඳහන් වේ. කුවේරයා සතු සංඛ සහ පද්ම යන ධන නිධි ආරක්ෂා කරන එනමින් හැඳින්වෙන බහිරවයන් සම්බන්ධ වන්දනීය ආකල්පයක් අතීතයේ නොපැවතුණ ද එය වර්තමාන අද පරිභෝජනවාදී සමාජයේ එම බහිරව වන්දනාව පංචකාම සම්පත ලුහු බැඳ යන නාගරික ඉහළ මධ්‍යම පාන්තිකයන් ගේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත් ව තිබේ.
අනුරාධපුර අභයගිරි ස්ථූප භූමියට ඇතුළු වන පියගැට පෙළ දෙපස ඇති මුරගල්වල නිර්මිත සංඛ සහ පද්ම බහිරව රූප දෙක මුල් කොට දේවාල දෙකක් සහ වෙනම පුද පිළිවෙත් සංස්කෘතියක් මීට දශක කිහිපයකට පෙර ඇරඹී අද වන විට එය ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක් වෙමින් තිබෙනු දක්නා ලැබේ.වත්මන් අනුරපුර දිස්ත්‍රික්කය වශයෙන් හැඳින්වෙන නුවර කලාවියේ පාරම්පරික ගැමි ජනතාව තුළ වගේ වගක් නැති මේ වාමන රූපී බහිරව වන්දනාව අධිකාමභෝගීත්වයට ලොල් වන වත්මන් නාගරික ඉහළ මධ්‍යයම පාන්තිකයන් ගෙන් කොටසක් ඉස් මුදුනේ තබා ගෙන හිඳිනු පෙනේ.

මෙම වාමන රූපී බහිරව දේව සංකල්පය පිළිබඳව අප සමාජයේ චිර ප්‍රසිද්ධ දේශීය පුරාණෝක්තියක් ද තිබේ. එය ඇරඹෙනුයේ අතීතයේ අප රටේ රජකම් කළ රජවරුන් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානම් සහගත අවස්ථාවන් හි දී රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ රන්, රිදී, මුතු,මැණික් ආදී සියළු වස්තුව පර්වතාශ්‍රිත ප්‍රදේශයක කිසියම් ගල් කුහරයක් තුළ සඟවා එය සුවිසල් ගල් පොත්තකින් වසා දැමූ පුවතකිනි. එහෙත්, ඒ පුරාණෝක්තියේ උච්චතම කොටස එය නොවේ. එසේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ මහා ධනස්කන්ධය සැඟවූ ගල් කුහරයට උඩින් ඇති ගල් පොත්ත මතට තමන්ට හිතවත්ම ඇමතිවරයකු කැඳවන රජතුමා ඒවා නිරන්තරයෙන් රැක බලා ගන්නා ලෙස පවසා එක්වරම ඇමතියාගේ හිස කඳින් වෙන් කොට දැමීම ය. එවිට ඒ හිසෙන් සහ කඳෙන් නික්මෙන රුධිර ධාරාව ඒ ගලා ගොස් ඒ ගල්පොත්ත හා ධනය සැඟවූ ගල්කුහරය එකට හා වන අතර ඒ දක්වා ඒ ඇමතිවරයා ගේ අමාත්‍ය භූමිකාව ඉන්පසු වසර සිය දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව පවතින බහිරව භූමිකාවක් බවට පත් වන බව ඒ සම්බන්ධ පොදු පුරාණෝක්තියයි. එහෙත්, කිසිවකු බහිරවයාට නිසි පරිදි පූජා බලි බිලි ආදිය ප්‍රදානය කළ පසු ඔහු ඒ නිධානයට ඇති ආශාව අතහැර එය ඒ බලි බිලි දෙන්නාට ලබා ගැනීමට ඉඩ සළසන බව ද ජන සම්මතයකි. ඒ බලි බිලි අතරේ තුන් කුළුදුල් දරුවන් සහ කන්‍යාවන් ගේ බලි ප්‍රධාන වේ. එසේ එම නිදන් පිහිටි ස්ථාන සහ ඒවායේ තැන්පත් කොට ඇති ධනස්කන්ධයන් සහ ඒවා ලබාගත හැකි අන්දම විස්තර කෙරෙන පැරණි පුස්කොළ පොත් හඳුන්වන්නේ “නිදන් වදුලු” වශයෙනි.

“ඔය නිදන් වදුලු කියන්නේ එහෙම් පිටින්ම කූට ලේඛන විශේෂයකට; පරණ කඩ ඉම් ලකුණු වගේ ගල්වල තියන එක එක සංකේත මුල් කරගෙන ඒ තැන් වල අහවල් රජතුමා නිදන් කරපු අහවල් ධනස්කන්ධය නිදන් කරලා තියනවා වගේ පට්ටපල් කෙබර ලියපු මහනුවර රාජධානි සමයේ හිටපු කපටි අවියත් ලේඛකයෝ ඒ පුස්කොළ පොත් ඒ කාලේ හිටපු ධනවත් රදළයන්ට බර ගණන් වලට විකුණලා තියනවා. ඒ වගේම ඒ නිදන් වදුලුවල නිදන් ගන්න හැටි විස්තර කෙරෙන තැන්වල කාටවත් හොයා ගන්න බැරි බකමූණු කඳුළු වගේ දෙයකුත් දනවා.නමුත් මූලිකව බලන කොට ඒක කාටවත් තේරෙන්නේ නෑ. වැඩේ කරන්න ගියාමයි තේරෙන්නේ. ඒ හින්දා මම කියන්නේ ඔය නිදන් වදුලකින් නිදන් ගන්න උත්සාහ කරනවට වඩා හීනෙන් දැක්ක ඉඩමක ඔප්පු හොයන්න ඉඩම් රෙජිස්ටාර් කන්තෝරුවකට යන එක නුවණක්කාරයි කියලයි” ඒ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම පුරාවිද්‍යාඥයකු හා කෞතුක විද්‍යාඥයකු වන ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහයෝ ඒසේ කීහ.ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ධුර හෙබ වූ ඔහු ශ්‍රී ලංකා පුරා පුරාවිද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවිය ද හොබවා තිබේ.

ඒ කෙසේ හෝ තමන් වසර දහස් ගණනක් පණ මෙන් සුරැකි මහා ධනස්කන්ධයක හිමි කම කන්‍යාවක තුන් කුළුදුල් දරුවකු හෝ වෙනයම් බිල්ලක් ලබා ගැනීම උදෙසා නිදන් කොල්ල කරුවකුට පවරන්නේ නම් ඒ බහිරවයා ද “පාපතරයකු” බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම මහනුවර රජ කම් කළ දෙවන රාජසිංහ රජු සමයේ පවුලක කුළුදුලේ පුතකු ඉපදුණු විට ඒ බහිරවයාට බිළි වශයෙන් ඒ දරුවා මරා දැමීමේ සිරිතක් පැවැති බව ඒ සමයේ අප රටේ එළි මහන් සිරකරුවෙකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියූ An Historical Relation of the Island Ceylon කෘතියෙහි සඳහන් වේ. මහනුවර රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ මහනුවර පිහිටි අදත් එනමින්ම හැඳින්වෙන බහිරව කන්දේ දී බහිරවයාට කන්‍යාවන් බිලි දීමේ සිරිතක් පැවැති බව පුන්චි බණ්ඩාර දොලපිහිල්ල සූරීන් ලියූ In the days of Sri Wickramarajasingha Last king of Kandy (1959) කෘතියේ ද සඳහන් ය. ඒ අනුව එවන් පාපතර බහිරවයකු සමඟ ඊට කිසිදු සබැදියාවක් නොමැති වන්නිහත්පත්තුවේ බහිරව මුත්තා හා මුසු කිරීම කෙසේවත් සුදුසු නොවන බව ද කිව යුතුම ය.

බහිරව, වයිරව, බැරෑන්ඩි ආදී නම් වලින් හැඳින්වෙන ඉන්දියාවෙන් ශ්‍රී ලාංකේය ජන සමාජයට අවශෝෂණය වූ බහිරව ඇදහීමෙන් ඉඳුරාම වෙනස් වන්නි හත්පත්තුවේ ස්වදේශික ග්‍රාම දේවතාවකු වන බහිරව මුත්තා යනු එම පැරණි වැව් ගම් වාසීන් ගේම මුතුන් මිත්තන් වූ අතීතයේ විසූ සුවිශේෂ පුරුෂයන් ගේ සංකේතාත්මක දේවත්වයක් බව අනුමාන කළ හැක. ඒ සම්බන්ධයෙන් වන්නි හත්පත්තුවේ අධිකරණ සංඝනායක ලෙස වැඩ සිට අපවත් වී වදාළ පොතානේගම ධීරානන්ද නාහිමියන් අවධාරණය කොට ඇත්තේ සමාජ සම්මත බහිරවයා වාමන රූපියකු වුවද වන්නි හත්පත්තුවේ බහිරව මුත්තා වයෝවෘද්ධ හා සන්‍යාසී ස්වරූපයක් දරන්නකු බව ය.පරම්පරාගතව එය එම ප්‍රදේශයේ බොහෝ දෙනකු හමුවේ අංජනම් සහ පේන මගින් තහවුරු වී ඇති බවට උන්වහන්සේ කොට ඇති සඳහන මගින් පෙනී යන්නේ වන්නිහත්පත්තුවේ පිදුම් ලබන බහිරව මුත්තාගේ රූපකාය ලෙස එහි පාරම්පරික ජන විඥානය තුළ සනිටුහන් ව ඇති රූපකාය එයම බව ය.

“අපේ පරම්පරාවල මුතුන් මිත්තන්ගේ ඉඳලම ඔය බහිරව මුත්තා දේව විශ්වාසය තිබිලා තියනවා උන්වහන්සේ නිදන් රකින බහිරවයා වගේ දුෂ්ඨ කෙනෙක් නොවන බවත් උපාසකයෙක් වගේ බොහොම නිවී සැනසුණු සාන්ත දාන්ත දෙවි කෙනෙක් බවත් අපි අහලා තියනවා”. අප හා ඒ විස්තරය කරන ලද්දේ මීගලෑව ගනන්ගමුවේ පදිංචි සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක දමින්ද ප්‍රභාත් අබේකෝන් මහතා ය. ” ඔහු ඒ සමඟම කී දෙය තුළ ද යම් සුවිශේෂත්වයක් ඇතැයි මට සිතේ.
“අපේ බහිරව දේවතාවුන්වහන්සේ ගේ ආයුදය කැත්ත ආරක්ෂක සත්වයා බල්ලා කියලා විශ්වාසයක් ඉස්සර ඉඳලම තිබුණා. ඒ වගේම ඔය නිදන් රකින බහිරවයාට පාතාල බහිරව කියලත් අපේ බහිරව මුත්තාට ආතාල බහිරව කියලත් සමහරුන් කියනවා. අපේ බහිරව මුත්තා ගේ ආරක්ෂක සත්වයා බල්ලා වගේම පාතාල බහිරවයා ගේ ආරක්ෂක සත්වයා නයා කියලා තමයි අපේ වැඩිහිටියො කිව්වේ. ඒ හින්දා අසරණ වුණු බල්ලන්ට පිහිටක් වෙන එකෙන් බහිරව දේවතාවුන් වහන්සේ පහදවා ගෙන තමන් ගේ ජීවිත සන්සුන්, සරල සාමකාමී විදිහට ගෙනියන්න පුලුවන් යන විශ්වාසයන් අපේ පරම්පරාවල තිබුණා.ඒ කොහොම වුණත් අසරණ වෙලා ලෙඩ වෙලා ඉන්න බල්ලන්ට පිහිට වෙන එක අපිත් පාරම්පරිකවම කරන දෙයක්” ඔහු වැඩිදුරටත් කීය.මෙහි දී වාහනය සුනඛයා ලෙසත් කැත්ත ආයුධය ලෙසත් සැලකීමෙන් බහිරව මුත්තා යනු අතීත කෘෂිකාර්මික ගැමි සමාජයේ නියෝජනයක් බව පෙනෙයි.තවත් දේශීය ප්‍රභවයකින් යුතු මොරටු දෙවියන්ගේ වාහනය සහ ආයුධය ද සුනඛයා සහ කැත්ත මය.

“ඔය පැරණි වැව් ගම්මාන ආශ්‍රිත ජනතාව පාරම්පරිකව බොහොම සරල චාම් ජීවිත වලට හුරුවෙලා හිටියා.ඒ වගේම ඔය මිනිස්සු පරිසරයට අති සංවේදීව තමයි හැම දෙයක්ම කළේ.හේනක් එළිකරගන්න කැළේ කෙටීම වුණත් “වල් අත්ත කැපීම” කියන යාතු කර්මය හැටියට යායේ වගකිව යුත්තෙක් විසින්ම කළ යුතු බැරෑරුම් කාරියක් විදිහටයි ඔය මිනිස්සු සැළකුවේ. ඒ හින්දා නිදන් හාරනවා වගේ දේවල් වලට ඒ මිනිස්සු කොහොමත්ම යොමු වුණේ නෑ. හැමදාමත් ඔය බහිරව පූජා දීලා නිදන් ගන්න බැලුවේ පිට ගම් වලින් සංක්‍රමණය වුණු තෘෂ්ණාධික මිනිස්සු. නමුත් ඒ මිනිස්සු මේ ගැමි සමාජ වලින් කොන් වුණු පව්කාරයන් විදිහට හංවඩු ගැසුණු සීමිත පිරිසකගෙන් ඒවට උදව් ගත්තා.අද වුණත් ඕවයේ නිදන් මංකොල්ල කෑම් සම්බන්ධ සිද්ධීන් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ සමාජයේ නොයෙක් ආකාරවලින් බලවත් පිරිස් බව පොලිස් වාර්තා වලිනුත් පෙනී යනවා”. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්ර සූරීහු එසේ කීහ.

ඒ කෙසේ හෝ නිදන් හැරීම යනු තමනට නොගැලපෙන අතිශය බරපතල ක්‍රියාවක් බව වන්නිහත්පත්තුවේ පාරම්පරික ගැමියෝ අදටත් පිළිගනිති.ඒ අතර ඒවාට සම්බන්ධ වූ පුද්ගලයන් පසුකාලීනව අත් විඳි නොයෙකුත් දුක් කරදර විපත් කෙරෙහි නිරතුරුව විමසිල්ලෙන් සිටි ගැමියෝ ඒවා ඒ පුද්ගලයන් නිදන් හැරීමට වෙර දැරීමෙන් ඇති කර ගත් අනිටු ඵල ලෙස හැඳින්වීමට පසුබට නොවූහ. ඔවුන් අදටත් නිදන් රකින නපුරු දුෂ්ඨ බහිරවයා අතහැර ඇතැම් අහිංසක සාමකාමී බහිරව මුත්තා වෙත ළංවීම එහි ප්‍රතිඵලයකි. තම පරපුරේ ආදිතමයකු වන බහිරව මුත්තාට ගෞරවාදරය දක්වමින් පුද පිළිවෙත් දැක්වීමට වන්නිහත්පත්තුවේ පාරම්පරික ගැමියන් තුළ පැවැති එම නැඹුරුවේ අක් මුල් අදටත් සිඳී නොතිබීම ඔවුන් ගේ නොදියුණු අනුවණ කමක් සේ මට නම් කෙසේ වත් නොසිතෙයි.මක් නිසා ද යත් මානවයා යනු නෛසර්ගිකවම හුදෙක් භෞතික සේම ආධ්‍යාත්මික චින්තනයකට කිනම් හෝ නැඹුරුවක් පළ කරනකු බැවිනි.”වන්නි හත්පත්තුවේ බහිරව මුත්තා කියන්නේ කන්‍යාවන් බිළිගන්නා නිදන් රකින බඩ තඩි බහිරවයාට නෙවෙයි.පුළුවන් නම් නිදන්වලට අරක් ගත් බඩ තඩි බහිරවයාගෙයි මේ පුරාණ වැව් ගම් වලට අරක් ගත්තු අපේ බහිරව මුත්තා දේවතාවුන්නාන්සේ ලාගෙයි වෙනස ගැන මොනවා හරි ලියන්න”යනුවෙන් ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එස්.කේ.විමලරත්නයන් කළ යෝජනාව දෙහිතකින් තොරව පිළි ගැනීමට මට සිත් වූයේ එනිසා ය.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය