වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහිව පළමුවරට සංවිධානය කෙරෙන විපක්ෂයේ “මහා ජන හඬ” ජන රැලිය අද (21) පස්වරු 2.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත් වේ. දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් පැවත්වීමට නියමිත මෙම රැලිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජනතා සේවක පක්ෂය, නව ජනතා පෙරමුණ යන පක්ෂ ඇතුළු බහුජන සංවිධාන 17කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත ය. මෙම ජන රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වීමට නියමිත ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තලතා අතුකෝරල නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ ලේකම් දුමින්ද දිසානායක, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර, මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක, ප්‍රේමනාත් සී. දොලවත්ත, පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු එම දේශපාලන පක්ෂවල හිටපු මැති ඇමැතිවරුන් හා බහුජන සංවිධානවල නියෝජිතයන් රැලිය අමතා කතා කිරීමට නියමිතය.මෙම රැලියට පක්ෂයක් වශයෙන් සමගි ජන බලවේගය සහභාගී නොවන නමුත් ඔවුන්ගේ ආශීර්වාදය ඊට ලැබෙන බව එම පක්ෂය ද සඳහන් කොට තිබේ. මෙම මහජන රැලිය සඳහා සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්ෂිකයන් හා පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අද පස්වරුවේ නුගේගොඩ අවට විශේෂ රථ වාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි පොලිසිය සඳහන් කොට තිබේ.ඒ අනුව අද දහවල් 02:00 සිට රැලිය අවසන් වන අවස්ථාව දක්වා නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථ වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව ඇත.එම කාලය තුළ එම මාර්ග භාවිත කරන රියැදුරන් හා මහජනතාවට ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා ඔවුන් පෙන්වා දී ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.