2026 වසරේ වෙසක් පුර පසළොස්වක පෝය දිනය මැයි 30 වන සෙනසුරාදා දිනට සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ සමඟ මැයි මස මුල යෙදී ඇති නිවාඩු දින සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතිකාවක් නිර්මාණය වී තිබේ.
මුලින් මැයි 01 වන දින වෙසක් පෝය යෙදෙන බව ප්‍රකාශයට පත් කර තිබුණද, එදිනට වෙසක් උත්සවයට අදාළ “විසා නැකත” නොයෙදෙන බව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් රජයට පෙන්වා දී ඇත.මහානායක හිමිවරුන්ගේ එම ඉල්ලීම පරිදි පෝය කමිටුවේ නිර්දේශය මත වෙසක් පෝය මැයි 30 දක්වා වෙනස් කෙරිණි.රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් තහවුරු කර ඇත.
රජයේ නව තීරණයට අනුව 2026 මැයි 27 සිට ජූනි 02 දක්වා.වෙසක් සතිය ලෙස ප්‍රකාශ වී ඇති අතර ජාතික වෙසක් උත්සවය මාතර මිදෙල්ලවල පුරාණ විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.නමුත් මෙම සංශෝධනයත් සමඟ ගැටලු සහගත තත්වයක් මතු වී ඇත්තේ දැනට මුද්‍රණය කර ඇති දින දර්ශන හේතුවෙනි. එම දින දර්ශනවල මැයි 01 (සිකුරාදා) සහ මැයි 02 (සෙනසුරාදා) දින වෙසක් පෝය සහ වෙසක් පසු දින ලෙස රජයේ හා බැංකු නිවාඩු ලෙස සටහන්ව තිබීම මීට හේතුවයි.මැයි 01 ලෝක කම්කරු දිනය ද යෙදී ඇති පසුබිමක, වෙසක් පෝය දින වෙනස් වීමත් සමඟ එම නිවාඩුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මහජනතාව තුළ විවිධ මත පළ වෙමින් පවතී.මෙම නිවාඩු දින සම්බන්ධයෙන් පැන නැඟී ඇති විවාදාත්මක තත්වය පිළිබඳව රජය ඉදිරියේදී නිශ්චිත පැහැදිලි කිරීමක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ අතර සිංහල අලුත් අවුරුද්ද හා සම්බන්ධ සියළු නැකත් අලුත් අවුරුදු උදාවෙන් පසුව එළඹීමේ චිරාගත සම්ප්‍රදායන් මුළුමනින් වෙනස් කොට පරණ අවුරුද්දේ තෙල් වළං ලිප තැබීම සම්බන්ධ අලුත් නැකතක් රජය මඟින් හඳුන්වා දීම ද සිංහල අලුත් අවුරුද්ද හා සම්බන්ධ සංස්කෘතික විලෝපනයක් බව විද්වත්හු පෙන්වා දී තිබේ.