ශරීරයේ නිතර දැනෙන වේදනාවන්වලට වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු ද ?

අපේ ශරීරයේ ඕනෑම තැනක් , කුමන හෝ වේලාවක කුමක් හෝ අන්දමින් රිදෙන්නට පුළුවන. එවැනි රිදුමක් ගැන නොකියන කෙනෙක් සොයා ගත නොහැකි තරම් ය . සමහරු මෙවැනි වේදනා අමතක කර දමති. තවත් සමහරු මේ සඳහා වේදනා නාශක ගැනීම හෝ රිදෙන ස්ථානයේ බාම් වර්ගයක් අතුල්ලාගෙන නිහඬ වෙති. මේ අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන අය ද සිටිති .
මේ වේදනා කැක්කුම් ගැන තැකීමක් නොකර ඒවා අමතක කර සිටිය යුතුද? නැතහොත් අපට දැනෙන ඕනෑම වේදනා කැක්කුමක දී ඊට වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුද?
ඒ ගැන තීරණයක් ගන්නට පෙර අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය කෙසේ සිදුවන්නේදැයි දැන ගැනීම ඔබට ඉතා වැදගත් වනු ඇත.
අපේ ශරීරය ක්‍රියා කරවන්නේ විශාල මස්පිඩු රාශියක් මගිනි. ශරීරයේ ශක්තිමත්ම කොටස අපේ ඇට සැකිල්ලයි. ඒ වටා තිබෙන මස්පිඩු මගින් එය නැවීම දිග හැරීම සිදු කරයි. “අත් පා නවන්න” යන පණිවිඩය මස්පිඩුවලට දෙන්නේ මොළය යි . ඒ පණිවිඩය මොළයේ සිට අත් පා වෙත රැගෙන එන්නේ වයර් වැනි ස්නායුවලිනි. මෙය විදුලියක් මෙන් අධි වේගයෙන් සිදුවන ක්‍රියාවලියකි.

අප වාඩි වී සිටින විට , සිට ගෙන සිටින විට මේ ආදී කුමන ඉරියව්වක සිටියත් ශරීරයේ සියලු කොටස් අපට අවශ්‍ය ඉරියව්වේ පැවතිය යුතු ය .ඒ සියල්ල සිදු කරන්නේ මෙම මස් පිඩු විසිනි. අප සිහිසුන් වුණොත් බිම ඇදගෙන වැටෙන්නේ මේ මස්පිඩු ක්‍රියා විරහිත වීම නිසා ය . කොඳු ඇට පේළිය කෙළින් තබාගෙන සිටිනවා ද , නවනවාද, දිගහරිනවා ද මේ සියල්ල තීරණය කරන්නේ එහි අවට පිහිටා තිබෙන මස්පිඩු මගිනි.
ටෙන්ඩන් නමින් හඳුන්වන තවත් ශක්තිමත් කඹයක් වැනි දෙයක් මගින් ශරීරයේ ඇට මස්පිඩුවලට සවි වී තිබේ . සන්ධියකදී ඇට එක උඩ එක සිටින පරිදි කෙළින් අතට සවි වී ඇත . දණහිස් සහ වැලමිට සන්ධි අපට ඕනෑ හැටියට හතර අතේ නමන්නට නොහැකි වී තිබෙන්නේ ඒ නිසා ය .ඒවා නැවිය හැක්කේ එක් දිශාවකට පමණි . එවැනි පාලනයක් සන්ධිවලට ලැබීම සඳහා ලිගමන්ට්ස් නමින් හඳුන්වන නූල් විශේෂයක් මගින් සන්ධි දෙපැත්තෙන් එකට බැඳ තබා ඇත .
අප වැඩ කරන විට මේ සියලු මස්පිඩු සහ ඒ අවට ඇති නූල් සියල්ල එකදිගට ක්‍රියාකාරී වේ. අසාමාන්‍ය ඉරියව්වලදී ඇතැම් විට ඒවා ඇදීමකට ලක් විය හැකිය. කඹයක් වුවත් ඉතා දැඩි ලෙස දෙපැත්තෙන් ඇද්දොත් එය සෑදී ඇති පොල් කෙඳි කීපයක් හෝ කැඩෙන්නට ඉඩ තිබේ. අපේ ශරීරය ඇදීමේ දී ද එය සෑදී ඇති පොල් කෙඳි වැනි කුඩා නූල් එලෙස කැඩී යන්නට පුළුවන.

ලණුවක කැඩුණු පොල් කෙඳි යළි යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් නැත. නමුත් ලණුවක් මෙන් නොව , අපගේ ශරීරයේ කැඩී බිඳී යන සියලු කොටස් අලුත්වැඩියා වී සාමාන්‍ය තත්ත්වයට පැමිණීම සිදුවේ .එය එක්තරා ආකාරයකින් බලන කල විස්මිත ක්‍රියාවලියකි .
ඔබ නිකමට සිතා බලන්න. ඔබේ හිස කෙස් කැපූ විට නැවත වැඩේ. කැපූ නියපොතු ද යළි තිබුණාටත් වඩා දිගට වැඩෙන්නට පුළුවන. ඒවා සිදු වන්නේ අපට නොදැනීම ය. එලෙසින් මෙම අලුත්වැඩියා කිරීම් අපට නොදැනීම සිදු වේ. නමුත් නියපොතු සහ හිසකෙස් මෙන් නොව ශරීරය ඇතුළත සිදු වන එවැනි කැඩීම් බිඳීම්වල දී එසේ අලුත්වැඩියා වන්නට නම් අප වැඩ නතර කළ යුතුය. එලෙස නතර කළ යුතු බවට අපට දෙනු ලබන සංඥාව වන්නේ මෙම අදාළ ස්ථානයෙහි වේදනාවක් ඇති කිරීමයි . වේදනාවක් දැනෙන විට අපි එම කොටසින් වැඩ ගැනීම නතර කරමු . එයින් අපට ශරීරය විසින් හඟවනු ලබන්නේ “අලුත්වැඩියාව අවසන් වන තුරු සොලවන්න එපා” යන්න වේ .මේ ආකාරයට අලුත්වැඩියාව අවසන් වී එය පෙර තිබූ තත්ත්වයටම නැවත පැමිණි පසු අපට මුලින් දැනුනු වේදනා සියල්ල ඉබේම නැති වී යයි.

ශරීරයේ කොතැනක හෝ කැක්කුමක්, වේදනාවක් තිබෙන විට බොහෝ විට ම අප කරන්නේ ඒ අපහසුතා ඉවසා ගෙන වැඩ කිරීමයි. එවිට ඔබ කරන්නේ අලුත්වැඩියාව සිදු කිරීමට බාධා පැමිණවීමකි. එවිට අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වේ. ඒ අනුව සුව වීමට ගතවන කාලයද දීර්ඝ වනු ඇත .ඒ නිසා වඩා සුදුසු වන්නේ කුමක් හෝ දෙයක් සිදු වීමෙන් ශරීරයට තදබල වේදනාවක් කැක්කුමක් දැනුනු විට ඇඳක හාන්සි වී විවේක ගැනීමයි .එවිට ශරීරයේ සියලු මස්පිඩුවලට විවේකය ලැබේ.
වේදනා කැක්කුම්වලදී අප වැඩි දෙනකු පුරුදු වී සිටින්නේ වේදනා නාශක ගැනීමට ය. නමුත් නිතර වේදනා නාශක ගැනීම ද සුදුසු නොවේ. එමගින් නරක ප්‍රතිවිපාක ලැබිය හැකි නිසා ය .විශේෂයෙන්ම නිතර වේදනා නාශක ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවී ආමාශයේ තුවාල හටගැනීමේ වැඩි අවදානමක් පවතී . මේ නිසා ඇතැම් විට ආමාශය තුළ ලේ ගැලීම් පවා ඇති විය හැකිය. යම් හෙයකින් එම තුවාල සහිත රෝගියෙකු හෘදයාබාධයකට හෝ අංශභාග වැනි රෝගයකට ලක් වුණොත් ඊට අවශ්‍ය ප්‍රතිකාර දීම ද අපහසු වනු ඇත. එවිට සිදු වන්නේ එම රෝගයට නිසි ප්‍රතිකාර නොලැබීමෙන් රෝගියා මිය යාම ය. එනිසා නිතර නිතර හිතුමනාපයට වේදනා නාශක ගැනීම නොකළ යුතු වේ.
සාමාන්‍යයෙන් අප වැඩක යෙදී හිඳින විට සිදුවන සුළු සුළු කැඩී බිඳී යාම්වල දී ඒ මොහොතේ වේදනාවක් දැනෙන්නේ නැත . ඒ නිසා ඔබ කරන කාර්යය නතර නොකර දිගටම කරගෙන යාමට ඔබ පෙළඹෙනු ඇත . වේදනාව දැනෙන්නේ පසුවට ය . එසේ යමක් සිදුවී සෑහෙන වෙලාවකට පසු එම ස්ථානයේ වේදනාවක් දැනෙන්නේ ඉහත ද කී පරිදි එහි අලුත්වැඩියාව ආරම්භ වී තිබීම නිසා ය .දවස පුරාම වැඩ කළ කෙනෙකුට අත් පා හෝ ශරීරයේ ඕනෑම තැනක දැඩි වේදනාවක් රාත්‍රියට හෝ පසුදින උදේ නැගිටින විට හටගන්නා හේතුව එයයි .

වයස්ගත වන විට ශරීරයෙහි තැන් තැන් වල සුළු සුළු කැඩීම් බිඳීම් සිදුවීම වැඩි ය. ඒ වියපත් බව නිසා ශරීරය දුර්වල වන විට කැඩීම් බිඳීම් ද ඉක්මනින්ම සිදුවන නිසා ය.
ශරීරයෙහි යම් තැනක දැඩි වේදනාවක් දැනෙන විට සමහරු එය පිළිකාවක් වැනි භයානක රෝගයක් යැයි සිතා බිය වෙති. තවත් සමහරුන් ශරීරයේ එක් පැත්තක ඇතිවන මෙවැනි වේදනාවක දී අංශභාගය වැළඳෙන්නට එන්නේ යැයි සැක කරන්නට පුළුවන. නමුත් ඔබ විශේෂයෙන් මතක තබා ගත යුත්තක් වන්නේ වේදනාවක් මගින් ඔබට නිකුත් කරන්නේ පණිවිඩයක් බව ය . ඒ ඔබට සිදුවන්නට යන කරදරයකින් ඔබව ගලවා ගන්නට ය. එනිසා සුළු සුළු වේදනාවලට බිය බීම හෝ හිතුමනාපයට වේදනා නාශක ගැනීම නොකළ යුතුය . නමුත් නිතර නිතර වේදනාව දැනෙන්නේ නම් වෛද්‍යවරයකු හමු විය යුතුවේ.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙ⁣රේරා

විනිවිද සායනය