සමරිසි තරුණියකට ලංකාවේ අධිකරණයකින් නිදහස

වත්තල ප්‍රදේශයේ සමරිසි තරුණියක් තමන් පීඩාවට පත් කරන දෙමාපියන්ගෙන් ආරක්ෂාව සලසමින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බලා ඇයට නිදහස ලබා දෙන මෙන් නියෝගයක් නිකුත් කර තිබේ.අධිකරණ නියෝගයක් ඔස්සේ පුද්ගලයකුට මෙවන් සිදුවීමකට අදාළව ආරක්ෂාවක් ලබා දුන් ලංකාවේ පළමු අවස්ථාව ද මෙයයි. සමාජ සම්මතයට පටහැනි සමරිසි බව කෙරෙහි යොමු වූ ඇගේ ලිංගික දිශානතිය මුල් කොට ඇගේ දෙමාපියන් විසින් සති ගණනක් මුළුල්ලේ ඇය නීති විරෝධී ලෙස නිවසේ සිර කර තබා ඇත.වින්දිත තරුණිය සිරගත කිරීමෙන් අනතුරුව, ඈ සමරිසි තරුණියක වීම පදනම් කරගනිමින් වැලිසර මහබාගේ පොලීසියේ සහාය ද ඇතිව ඈට විරුද්ධව නඩු පැවරීමට ද ඇගේ දෙමාපියන් කටයුතු කර ඇත.

මෙම තරුණියගේ ලිංගික දිශානතිය හේතුවෙන් ඈ මනෝ වෛද්‍ය තක්සේරුවකට ලක්කිරීමටත්, ඇගේ සමරිසිභාවය පිළිබඳ ‘සාක්ෂි’සොයා ගැනීම සඳහා කායික පරීක්ෂණයකට ලක්කිරීමටත් පොලීසිය උත්සාහ දරා ඇත්තේ ඒ අනුව ය.කෙසේ වෙතත්, ඈට තම දෙමාපියන්ගෙන් දිගින් දිගටම හිරිහැර සිදුව ඇති අතර, දෙමාපියන්ගෙන් තවදුරටත් සිදුවන අපයෝජනයන්ගෙන් ආරක්ෂා වීම සඳහා එම තරුණිය ද ඇගේ නීතීඥයන් මාර්ගයෙන් ආරක්ෂාව ඉල්ලා තිබේ.වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව නිෂ්ප්‍රභ කොට එම තරුණියට නිදහස ඇත්තේ ඒ අනුව ය.එම තරුණිය සතු සියලු පෞද්ගලික බඩු බාහිරාදිය, අධ්‍යාපන සහතික සහ හැඳුනුම්පත් ආදී ලේඛන ඇයට භාර දිය යුතු බවට ඇගේ දෙමාපියන්ට අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරන ලදී.නඩුව නිශ්ප්‍රභා කිරීමෙන් අනතුරුව, මෙම තරුණිය සිය සහකාරිය සමඟ කොළඹින් පිට ආරක්ෂිත ස්ථානයකට ගොස් ඇත.

වින්දිත තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෂෙවින්ද්‍රි මැනුවෙල්, ජනාධිපති නීතීඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ, එරන්දි අබේනායක, ජෙරුෂා ක්‍රොසෙට් තම්බියා, දිලුමි ද අල්විස් සහ තිෂ්‍යා වේරගොඩ ඇතුළු නීතිඥ කණ්ඩායමක් ද සමඟ නොමිලේ නීතී සහාය සපයන සංවිධානයක් වන අයිප්‍රෝබෝනෝ හා කටයුතු කරමින්, සමරිසි භාවය අපරාධයක් හෝ මානසික රෝගයක් නොවන බවට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාර්ථකව කරුණු ඉදිරිපත් කරන ලද බැවින් එම නඩුව තව දුරටත් පවත්වා ගෙන නොහැකිය යන පදනම මත අදාළ නඩුව නිශ්ප්‍රභා කරන ලදී.

නීතීඥයන් විසින් මෙම නියෝගය පිළිබඳ පුවත අනාවරණය කරමින් අවධාරණය කර සිටියේ, මෙය සමරිසි (LGBT+) ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති විද්‍යාවේ පරිණාමය විකාශනය කරනු ලබන අධිකරණමය පූර්වාදර්ශයක් බවයි. සම රිසි පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමේදී සමලිංගිකත්වය පිළිබඳ ‘සාක්ෂි’ සොයා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සමරිසි (LGBT+) පුද්ගලයන් බලහත්කාරයෙන් ගුද සහ යෝනි පරීක්ෂාවලට යොමුකර ඇති බවට ලේඛනගත සාක්ෂි තිබේ.

LGBT යනු කාන්තා සම ලිංගික, පුරුෂ සම ලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගික/සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හැඳින්වීම පිණිස ලොව පුරා භාවිතා වන කෙටි යෙදුමය. කෙසේ වෙතත්, එම අකුරු හතරේ සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ ද්විමය ලිංගිකත්වය මත පදනම් නොවූ සෙසු ලිංග අනන්‍යතාවයක් ඇති සියලුම දෙනා අනිවාර්යයෙන්ම ඇතුළත් නොවන බව හඳුනාගෙන ඇත.එබැවින් පිරිමි සහ ගැහැණු යන සාමාන්‍ය ද්විමය සංකල්පවලට නොගැලපෙන පුද්ගලයන් හෝ ඔවුන්ගේ ලිංග අනන්‍යතාවය හෝ ඔවුන්ගේ ලිංගිකත්වය පිළිබඳ ඔවුන්ගේම අවබෝධය විස්තර කිරීමට වෙනත් වර්ග භාවිතා කරමින් තමන්ව හඳුනා ගැනීමට තීරණය කරන පුද්ගලයින් ඇතුළත් කිරීමට ‘+’ සංකේතය භාවිතා කරයි. අපගේ සංස්කෘතික පරිසරය අනුව බැලූබැල්මටම විකෘතිතාවක් සේ පෙනෙන මෙය මානවයා සතු ස්වාභාවික ජෛවමය පිබිදුමක් බව මේ වන විට අනාවරණය වී තිබේ.සමරිසි භාවය මානසික රෝගයක් හෝ අපරාධයක් නොවන බවට අප රටේ අධිකරණ මඟින් ද තීන්දු ප්‍රකාශයට පත් වනුයේ එම පසුබිම යටතේ ය.

දමයන්ති ගමගේ

ඉරා අදුරුපට