බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම පිණිස අතුරු නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය හිමි බව පවසන විපක්ෂ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර පසුගිය ජුනි 17 වැනි දින පැවති ආරම්භක රැස්වීමේදී සාරංගිකා ජයසුන්දර මහත්මිය රහස් ඡන්ද විමසීම් පැවැත්වීමට ගත් තීරණය ඔවුහු ඉන් අභියෝගයට ලක් කරති.ඇගේ එම තීරණයට විරෝධය පළ කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 24 දෙනෙකු එදින සභා ශාලාවෙන් පිටව ගිය බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ගණපූරණයක් නොමැති වූ බවත් පෙත්සම්කරුවෝ ප්‍රකාශ කර සිටිති.