පසුගිය 14 වන ඉරිදා ඕස්ටේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි මුහුදු වෙරළේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අතරතුර තුවක්කුකරුවකු සමඟ පොර බදා ඔහු මෙල්ල කර තුවක්කුව උදුරාගත් 43 හැවිරිදි අහමඩ් අල් අහමඩ් නමැති පලතුරු කඩහිමියා වෙනුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට ආසන්න අරමුදලක් එක්රැස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට දශක දෙකකට පෙර සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු මේ වනවිට එරට ජනතාව අතර වීරයකු බවට පත්වි සිටින අතර, ඔහු වෙනුවෙන් රැස් කරන එම අරමුදලට අමෙරිකානු ජාතික බිලියනපතියකු ද ඩොලර් 65,000ක මුදලක් පරිත්‍යාග කර තිබේ.එම වෙඩි තැබීම අතරතුර ඔහු මෝටර් රථ දෙකක් අතරින් දිව ගොස් තුවක්කුකරු මෙල්ල කරගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පටය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා කෝටි සංඛ්‍යාත පිරිසක ගේ අවධානයට ලක්ව තිබේ.එමෙන්ම අහමඩ් අල් අහමඩ් තම ජීවිතය පරදුවට තබා එම නිර්භීත ක්‍රියාව සිදු නොකළේ නම් තුවක්කුකරු අතින් සිදුවිය හැකි මරණ ගණන තවත් ඉහළ යෑමේ අවදානමක් තිබූ බව ද වාර්තා වේ. තුවක්කුකරු පසුබැස ආපසු දිවයන අතරතුර සෙසු තුවක්කුකරුගේ වෙඩි ප්‍රහාරයෙන් අහමඩ්ගේ අතකට සහ උරහිසට තුවාල සිදුවී ඇත. සැත්කමකට භාජනය වීමෙන් පසු ඔහු මේ වනවිට සුවය ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.ඔහු වටා මෙවන් ආධාර සම්භාරයක් ගොනු වෙමින් පවතිනුයේ ඒ අතරේ ය.