සිහිනයකට පමණක් සීමා නොවිය යුතු ජනපති ගේ සුහුරු කෘෂිකර්ම කතාව

පසුගිය දිනෙක ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැවති වී අස්වනු නෙලීමේ අවස්ථාවේ ජනපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ‘ස්මාර්ට්’ හෙවත් ‘සුහුරු කෘෂිකර්මාන්තයක් අප රටේ ද ඉදිරියේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බවය. මෙය ඇතැම්විට හුදෙක් දේශපාලන කතාවක් විනා ප්‍රායෝගික ව ක්‍රියාත්මක නොවන්නක් වන්නට ද ඉඩ තිබේ. මන්ද මෙවැනි අදහස් දැක්වීම් පසුගිය වසර ගණනාවක් පුරාම අපට අසන්නට ලැබුණු නමුත් ඒ බොහොමයක් ඒවා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක නොවීම නිසාය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ සුහුරු කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධව කාලයක සිට ලෝක බැංකුව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි ජාත්‍යන්තර තලයේ ආයතන අදහස් දක්වා තිබේ. සුහුරු කෘෂිකර්මාන්තයක් අපේ රටේ කිසි දිනෙක ඇති නොවේ යැයි සිතිය නොහැකිය. අප ඒ පිළිබඳ දැනුම්වත්ව සිටිය යුත්තේ ඒ නිසාමය.

අතීතයේ අප රටේ පැවති කෘෂිකර්මය පිළිබඳ දෙස ආපසු හැරී බැලුවහොත් පෙනෙන්නේ එය හුදෙක් සාම්ප්‍රදායික, පරපුරෙන් පරපුරට ගලා ආ දැනුම මත පදනම් වූවක් බවය. කුඹුරු සීසෑමට, ගොයම් පෑගීමට ගොනුන්ගේ සහය, යාන්ත්‍රික නොවන ක්‍රම මගින් වී කෙටීම ආදිය අපට දැක ගත හැකිය. නමුත් මේ වන විට ගොනුන්ගේ භූමිකාව සහමුලින්ම කෘෂිකර්මයෙන් ඈත්ව තිබේ. සියල්ල යාන්ත්‍රිකව සිදු කෙරෙන තත්වයට පරිණාමය වී තිබේ. නමුත් මේ ක්‍රියාවලියේ වැඩි ප්‍රමාණයක් යාන්ත්‍රික වූ පමණින් එය සුහුරු කෘෂිකර්මාන්තයක් යැයි පැවසෙන්නේ නැත. සුහුරු කෘෂිකර්මය යනු කෘෂිකාර්මික නිෂ්පාදනයන් වර්ධනය කිරීම පිණිස උසස් තාක්ෂණය භාවිත කිරීමය. මෙහි අරමුණ වන්නේ පාරිසරික හානිය හැකිතාක් අවම කරගනිමින් කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රමාණාත්මක ව සහ ගුණාත්මක ව වර්ධනය කිරීමය. කෘෂි බෝග වගා කිරීමේ දී ඒවායේ ඒවාට ලැබිය යුතු හිරු එළිය, පත්‍රවල තෙතමනය, කඳෙහි විශ්කම්භය ගණනය කිරීම ආදිය අයත් වන්නේ සුහුරු කෘෂිකර්මාන්තයටය. එමෙන්ම අස්වනු පිළිබඳ දත්ත විශ්ලේෂණය කොට වසරේ යම් යම් කාලවල දී වැවිය යුත්තේ කුමන භෝග ද, කුමන ප්‍රමාණයන්ගෙන් ද යන්න පිළිබඳ ගොවීන්ට උපදෙස් දෙන තාක්ෂණය අයත් වන්නේ ද මෙයටමය. අපේ රටේ නැත්තේ ද මෙයමය. මේ වන විට අප රටේ සුහුරු කෘෂිකර්මාන්තයක් පැවතියා නම් කිසිම විටෙක ඉවත දමා කුණු වෙන්නට හරින සේ එළවළු වවන්නට සිදුවන්නේ නැත. පසුගිය වර්ෂවල භෝග වැවීම සහ ඒවායේ අළෙවිය පිළිබඳ දත්ත විශ්ලේෂණය කොට ඊළඟ වසරේ දී කුමන භෝග කුමන ප්‍රමාණයන්ගෙන් වැවිය යුතු ද යන තොරතුර ගොවීන්ට ලබා දෙන්නට හැකියාව තිබේ.

කෘෂිකර්මය යනු දැඩි ලෙසම කාලගුණය මත රැඳුණු කර්මාන්තයකි. ඉදිරියේ දී පැමිණිය හැකි වියළි සහ වර්ෂා සමයන් පිළිබඳ ඉතාමත් නිරවද්‍ය පුරෝකථන කෘෂිකර්මාන්තය සඳහා අත්‍යවශ්‍යය. අප රටේ ගොවීන් බොහෝ විට කාලගුණ පුරෝකථන සැලකිල්ලට ගන්නේ නැත. එසේත් නැත්නම් කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ සංවිධාන මෙහි ඇති වැදගත්කම පිළිබඳ ගොවීන්ව දැනුම්වත් කරන්නේ නැත. ලෝකයට සුහුරු කෘෂිකර්මාන්තයක් බිහිවන්නට විශේෂිතම හේතුවක් වූයේ ද කාලගුණ විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තය වඩාත් හොඳින් පවත්වාගෙන යන්නේ කෙසේද යන ගැටලුවට මුහුණ දීම උදෙසාය. ලෝකයේ සුහුරු කෘෂිකර්මාන්තයක් පවතින සෙසු රටවල ගොවීන් සිය කෘෂිකාර්මික කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය ආදිය පවා භාවිතයට ගන්නා බව පෙනේ. කෙසේ නමුත් අපට ඒ සා දුරක් යන්නට තරම් ආර්ථික ශක්තියක් නොමැති වුව ද අප රටට ගැලපෙන අපට දරා ගත හැකි සුහුරු කෘෂිකර්මාන්තයක් බිහිකර ගැනීමට ඕනෑ තරම් ඉඩකඩ තිබේ.

සෑම ප්‍රදේශයකම ගොවි ජන මධ්‍යස්ථාන පිහිටා තිබුණ ද ඒවා තොරතුරු තාක්ෂණයෙන් පොහොසත් නැත. ඒ බොහොමයක ඇත්තේ යම් යම් දත්ත ගබඩා කර තබා ගැනීම සඳහා පරිගණක කිහිපයක් පමණි. අදාළ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පිළිබඳ යම් දත්ත ප්‍රමාණයක් මේ ආයතන සතු වුවද, එම දත්ත විශ්ලේෂණය කොට ගොවීන්ට උපදෙස් දෙන්නට පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත.

වගා බිම්වල ස්ථාපනය කරන ලද සංවේදක ඔස්සේ දත්ත රැස් කිරීම ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන්නකි. අප රටේ ගොවියා එවැන්නක් කරන්නට තරම් දැනුම්වත්භාවයක් ඇති කරන්නට කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවලට ඕනෑකමක් පෙනෙන්නට නැත. ජලජ ගොවිතැන, පස් නොමැතිව සිදුකරන ගොවිතැන, පටක වගාව, තිරස් ගොවිතැන් ආදිය අප රටේ ගොවි ජනතාව අසා සිටින්නේ විස්මයෙන් මුව අයාගෙනය. නමුත් භූමි ප්‍රමාණය අඩු බොහෝ රටවල තිරස් ගොවිතැන දක්නට ලැබෙන දෙයකි. ඩ්‍රෝන තාක්ෂණය පවා අප රටේ ගොවිබිම්වලට රැගෙන ආවේ ඉතාමක් මෑත කාලයේ චී වන අතර ඒවා ද බොහෝ විට පුද්ගලික මට්ටමින් විනා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන්නේ නැත.

අප රටේ ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සමාගමක් සහ මෘදුකාංග නිෂ්පාදන සමාගමක් එක්ව මේ වන විටත් ගොවීන්ට දෛනික කාලගුණ පුරෝකථන කෙටි පණිවිඩ මගින් ලබාගෙන සේවාවක් ක්‍රියාත්මක වුව ද එයින් සැලකිය යුතු තරම් සාර්ථක ප්‍රතිඵලයක් අති වී නොමැත්තේ ගොවි ජනතාව තවමත් සාම්ප්‍රදායික මනෝභාවයෙන් ගලවා ගැනීමට නොහැකි වී ඇති නිසාය. කාලගුණ පුරෝකථන දැන ගැනීම සඳහා ස්මාර්ට් දුර්කතන ඇප් එකක් පවා හඳුන්වා දෙන්නට පෙර කී ආයතන පියවර ගෙන ඇතත්, ඇතැම් ගොවීන්ට ස්මාර්ට් දුරකතන භාවිතයට දැනුමක් නැත. එක්කෝ ඔවුන්ට ඒ වෙනුවෙන් පිරිවැයක් නොදැරිය හැකි තරම් දිළිඳුය.

අප රටේ සුහුරු කෘෂිකර්මාන්තයක් ඇති කරන්නට නම් ගොවි ජන සේවා මධ්‍යස්ථාන මුලින්ම සුහුරු ආයතන බවට පත් කළ යුතුය. ඒවායෙන් ලැබෙන තොරතුරු ගොවි ජනතාවට සිය නිෂ්පාදන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බවට පත් කිරීමට ඉවහල් වන බවට ඔවුන් තුළ විශ්වාසයක් ගොඩ නැගිය යුතුවා සේම නිවැරදි තොරතුරු නියමිත මොහොතේ ලබා දෙන්නටත් එකී ආයතන පියවර ගත යුතුය. එමෙන්ම කෘෂිකර්මාන්තය අනාගත ලෝකය ජය ගැනීම සඳහා වූ හොඳම විකල්පයක් බවට විශ්වාසයක් තරුණ ප්‍රජාව තුළ ඇති කළ යුතුය. වර්තමානය වන විට කෘෂිකර්මාන්තය තුළ තරුණ ප්‍රජාවගේ දායකත්වය සැලකිය යුතු තරමින් අඩු වී තිබේ. සුහුරු තාක්ෂණය වඩාත් හොඳින් සහ කාර්යක්ෂමව හුරු කළ හැක්කේ ඔවුන්ටය. රජයයක් ලෙස සුහුරු කෘෂිකර්මාන්තයක අප රටේ ඇති කරන්නේ නම් ඒ සඳහා දේශපාලන න්‍යාය පත්‍රවලින් යුත් වැඩපිළිවෙළක් තුළ තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගත යුතුය. ඒ සඳහා පුහුණු වැඩසටහන්, සුහුරු තාක්ෂණය, එයට අවශ්‍ය උපාංග සහ අනෙකුත් අගෝපාංග පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව සලසා දිය යුතුය. ගොවීන් කෙමෙන් සහනාධාර මත යැපෙන තත්ත්වයෙන් මුදවා ලොව අනෙක් රටවල මෙන් ධනවත් ගොවි ප්‍රජාවක් ඇති විය යුතුය. අප නිතර අත්දකිනවා සේ අතරමැදිය ධනවත් කරවන කෘෂිකර්මාන්තයට තිත තැබිය යුතුය.

පවතින රජය හෝ අනාගතයේ දී පත්වන රජය මේ කාරණා පිළිබඳ සැලකිලිමත් වන්නේ නම් පමණක් අප රට තුළ සුහුරු කෘෂිකර්මාන්තත් බිහි කර ගැනීම සිහිනයකින් ඔබ්බට ගමන් කළ හැකි කාරණයක් බවට පත් වනු ඇත. මෙය හුදෙක් දේශපාලනය තුළ වාසි සහගත තත්ත්වයක් හිමි කර ඉදිරි මැතිවරණවල දී ඡන්දය ලබාගැනීම සඳහා පමණක් යොදා ගන්නට අදහස් කරන්නේ නම් සුහුරු කෘෂිකර්මාන්තයක් පිළිබඳ සිහිනය සැබෑ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර