හික්ෂූන් “කහ කඩයන්” වන හැටිත් බණ පොතේ තියනවා

වර්තමාන සමාජ පරිහානිය විවිධ ප්‍රජා ඒකකයන් මගින් විවිධාකාරයෙන් නිරූපණය වන බව නොරහසකි.දේශපාලනඥයන් ඇතුළු විවිධාකාර පාර්ශවයන් වෙතින් බහු විධ ආකාර වලින් හුවා දැක්වෙන එම සමාජ පරිහානිය මැනැවින් විදහා දක්වන සුවිශේෂී ප්‍රජාවක් ගැන ද මේ වන විට පොදු ජන අවධානයට යොමුව තිබේ. ඒ අප ද නියෝජනය කරන ශ්‍රී ලාංකික භික්ෂු සමූහයා ය. අප රටේ බහුතරය මහා සංඝරත්නය යන සාමූහික ව්‍යවහාරයෙන් හා “පූජ්‍ය” යන අභිධානයෙන් යුතුව “ස්වාමීන් වහන්සේ” හෝ “හිමියන්” යන පෞද්ගලික ව්‍යවහාරයෙන් හඳුන්වන ශ්‍රී ලාංකීය භික්ෂුව ආකල්පමය සහ චර්යාමය වශයෙන් මේ තරම් අවනතියකට, අගතියකට,දුර්භාග්‍යාකට හා ජරාජීර්ණ බවකට පත් අවස්ථාවක් මෑත භාගයේ උදා වී නොමැති බව අපගේ වැටහීම ය.අපගේ නිගමනය අනුව මේ වන විට මෙම ජාතික ශාසනික ඛේදවාචකයෙන් අත් මිදී ඇත්තේ සුපේශල,ශික්ෂාකාමී ලෙස හැඳින්විය හැකි ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයේ අතලොස්සක් පමණි.
ශාසනික සමාජයීය වශයෙන් සාධනීය කටයුතු වලදී “පූජ්‍ය” යන අභිධාන පදය සහිත ස්වාමීන් වහන්සේ හෝ “හිමි” යනුවෙන් හැඳින්වෙන මෙරට භික්ෂුව නීතිමය සහ සදාචාරමය වශයෙන් හැඳින්වෙන සමාජමය නිශේධනාත්මක කටයුතු වල දී හැඳින්වෙන විශේෂිත නමක් වේ. එනම් “චීවර ධාරියා” යන්න ය. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනකු සිතනුයේ මෙම චීවර ධාරියා යන වදන සමස්ත මහා සංඝරත්නයේ ගෞරවයට නොගැලපෙන ව්‍යවහාරයක් බව ය. නමුදු සංඝ යන පොදු සාමූහික හැඳින්වීමෙන් තොරව කිසියම් භික්ෂුවක් චීවර ධාරියකු ලෙස හැඳින්වීම වුව ඒ භික්ෂුව හෝ භික්ෂුත්වය උදෙසා කරනු ලබන නිගරුවක් නොවන බව අපගේ වැටහීම ය.මක් නිසා ද යත් සෑම භික්ෂුවකම චීවර ධාරියකු වන බැවිනි.
“චීවර” යන්නෙහි අදහස ළාමක නොවන හෙවත් උතුම් යන්න ය. ආර්ථික සහ ලෞකික වශයෙන් කිසිදු අගයක් නොමැති මට්ටමකට කඩකින් සකසන ලද චීවරය බුදුන් වහන්සේ ගේ ලොව්තුරු සහ වීතරාගී බව සංකේතනය කරන්නකි.සන්නාලියන් වියූ රෙදි කඩක ආර්ථික අගය ශූන්‍ය වන අන්දමට සකසා හැඳිය යුතු චීවරය කසාව හෙවත් කසට පැහැයෙන් යුතු විය යුතු බව විනය පිටකයේ දැක්වෙයි. කාහටත් පැහැදිලි වන ලෙස කිවහොත් එය “කසාය” පැහැයෙන් යුතු විය යුතු ය.බෞද්ධ සාහිත්‍යයේ සිවුර හැඳින්වෙනුයේ අරහත් ධජය යනුවෙනි.ඒ අනුව සිවුරක් හඳින ඕනෑම පුද්ගලයකු භික්ෂුවක සේ හඳුනා ගැනීමේ සමාජමය ද්‍රෘෂ්ඨිය බුදු දහමින් එලෙසම පිළි නොගැනෙයි. දහමට අනුව යමකු සිවුරක් දැරිය යුත්තේ ඒ සඳහා වන ආධ්‍යාත්මික තලයකට හෙවත් ආර්ය මාර්ගයට පිවිස හිඳින්නේ නම් පමණි.ඒ සම්බන්ධයෙන් ඛුද්දක නිකායේ ඵුස්සත්ථේර ගාථා වල මෙසේ දැක්වෙයි
1. “අනික්කසාවෝ කාසාවං යෝ වත්ථං පරිදහිස්සති.
අපේතෝ දමසච්චේන න සෝ කාසාවමරහති.
2. යෝ ච වන්තකසාවස්ස සීලේසු සුසමාහිතෝ
උපේතෝ දමසච්චේන ස වේ කසාවමරහති.
3. විපන්නසීලෝ දුම්මේධෝ පාකටෝ කාමකාරියෝ,
විබ්භන්තචිත්තෝ නිස්සුක්කෝ න සෝ කාසාවමරහති.
4. යෝ ච සීලේන සම්පන්නෝ වීතරාගෝ සමාහිතෝ,
ඕදාතමනසංකප්පෝ ස වේ කාසාවමරහති.
5. උද්ධතෝ උන්නලෝ බාලෝ සීලං යස්ස න විජ්ජති.
ඕදාතකං අරහති කාසාවං කිං කරිස්සති.”
එහි අරුත:
1.රාගාදි කෙලෙස් කසට සහිත වූ යමෙක් කාෂාය වස්ත්‍රය හඳී ද, ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් සත්‍යයෙන් තොර වූ හෙතෙමේ සිවුරට සුදුසු නො වේ.
2.යමෙක් පහකරන ලද කෙලෙස් කසට ඇත්තේ ද, ශීලයෙහි මැනවින් හික්මුණේ වේ ද, ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍යයෙන් යුක්ත වේ ද හෙතෙමේ සිවුරට සුදුසු ය.
3.බිඳුණු සිල් ඇත්තා වූ ශීලය පිරිසිදු කර ගැනීමෙහි නුවණ නැත්තා වූ දුස්සීලයෙකැයි ප්‍රසිද්ධ වූ සංවරයක් නැති බැවින් සිතුණු දෙයක් කරන්නා වූ රූපාදි ආරම්මණයන්හි විසිර ගිය සිත් ඇත්තා වූ කුශලකර්ම නැත්තා වූ හෙතෙමේ සිවුරට සුදුසු නො වේ.
4.යමෙක් ශීලයෙන් යුක්ත ද, දුරු කරන ලද රාගය ඇත්තේ ද, සන්සිඳුණු සිත් ඇත්තේ ද ශුද්ධ සිත් ශුද්ධ කල්පනා ඇත්තේ ද හෙතෙමේ සිවුරට සුදුසු ය.
5.නො සන්සුන් සිත් ඇත්තා වූ, අතිමානයෙන් මත් වූ, නුවණ නැත්තා වූ යමකු හට ශීලය නැත්තේ ද හේ සුදුවතට සුදුසු ය. සිවුර ඔහුට කිනම් අර්ථයක් සිදු කෙරේ ද? සිවුරෙන් ඔහුට ප්‍රයෝජනයක් නැත. එමෙන්ම මෙහි මුල් ගාථා දෙක ධම්ම පදයේ යමක වග්ගයේ ද දක්නා ලැබේ.
එහිම මහාකස්පථෙර ගාථාවන් හි නොසන්සුන් නොහික්මුණු අදහස් සහිත යමකු චීවරයක් දැරීම උපමා කොට ඇත්තේ වඳුරකු සිංහ සමක් පොරවා ගැනීමකට ය. (උද්ධතෝ චපලෝ භික්ඛූ පංසුකූලේන පාරුතෝ-කපීව සීහචම්මෙන න සෝ තේනුපසෝභති).

වර්තමාන සමාජය මානව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ලෞකිකත්වයට ගොදුරු වීම මත තෘෂ්ණාවෙන් අගතිගාමීත්වයට පත්ව ඇති බව නොරහසකි. එහෙත් අර්ථ (ලෞකික) ධර්ම (ආධ්‍යාත්මික) වශයෙන් සමතුලනය කොට සමාජය යහමඟට යැවිය යුතු භික්ෂු ප්‍රජාවේ බහුතරය අද වන විට වත්මන් සමාජයේ ගිහි ප්‍රජාවටත් වඩා අගතියට පත්ව හිඳීම ශාසනික, සමාජ සේම ජාතික ඛේදවාචකයකි.මෙය වෙදුන් ලෙඩුන්ටත් වඩා ලෙඩ වීමකි.
මජ්ජිම නිකායට අයත් දක්ඛිණ විභංග යනු බෝසතුන් ගේ කිරි මව වන ප්‍රජාපතී දේවී ගේ වස්ත්‍ර පූජාවක් පදනම් කොට දානයේ අනුහස් පැවසීම අරමුණු කොට ගත් සුත්‍ර දේශනාවකි. එහි දී දානයට අනුහස් පදනම් වනුයේ දන් දෙන තැනැත්තාගේ සිත තුළ පහළ වන අලෝභ, අදෝස, අමෝහ ආදී පින් කුසල චේතනා පිළිබඳව සඳහන් වීමේ දී කාසව කණ්ටක නම් පිරිසක් පිළිබඳව ද සඳහන් වෙයි. දක්ඛිණ විභංග සූත්‍ර අටුවාවට අනුව අනාගතයේ බුද්ධ ශ්‍රාවකයාගේ කෙළවර වන්නේ කාසව කණ්ඨක නම් දුෂ්ශීල, පාපී, ළාමක, ගති ස්වභාව, චර්යා ධර්ම ඇත්තවුන් ගේ පහළ වීමෙන් ය. අනාගතයේ දී බිහිවන දුස්සීල, පාපී,ළාමක ගති ස්වභාව, චර්යාධර්ම ඇති කාසවකණ්ඨක නමැති භික්ෂු වේශධාරියා පසුව එම සිවුර දැරීම කවර ප්‍රයෝජනයක් දැයි සිතා කුඩා කහ කඩක් අතේ හෝ කරේ හෝ කෙස්සෙහි බැඳගෙන අඹු දරුවන් පෝෂණය කරමින් කෘෂිකර්ම වෙළඳාම් ආදි කර්මාන්ත කරමින් ජීවත් වන බව පැවසෙයි. .
මෙම කාසව කණ්ටක යන නාමය සරල අයුරින් සිංහලයට පෙරළුවහොත් ඔවුන් ‘කහ කඩයන්’ ලෙස නම් කළ හැක. ඒ අනුව සිරුරේ කහ පැහැති රෙදි කඩක් දවටා ගෙන නොසිටිය ද ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාවෙන් සැළකිය යුතු පිරිසක් මේ වන විට ශාසනික වශයෙන් “කහ කඩයන්” වී නොමැති දැයි යමකු විමසුව හොත් ඊට දිය හැකි පිළිතුර කුමක්ද?
පන්සිය පනස් ජාතක කතා මාලාවේ දෙසිය දාහතර වැන්න වන කාසව ජාතකය වේදත් තෙරුන් තමන්ට නොගැලපෙන අයුරින් සිවුරු දරා හිදීමක් නිදාන කතාව කොට ගත්තකි. එම ජාතකයේ අතීත කතාව මෙලෙසිනි. ඒ බෝසතුන් වහන්සේ අසූ දහසක ඇත් පිරිවරක නායකත්වය දැරීම මුල් කොට ගත් කතා පුවතකි.
අතීතයෙහි බරණැස බ්‍රහ්මදත්ත නම් රජ රාජ්‍යය කරන කල එක් ඇතුන් මරන්නෙක් ඇතුන් මර මරා දළ ද, නිය ද, බඩවැල් ද, ඝනමස් ද ගෙන ගොස් විකුණා ජීවත් විය. එවක කැලෑවෙහි දහස් ගණන් ඇත්තු කෑම සොයා වනයේ සැරිසරන අතර වනයේ වැඩ වෙසෙන පසේ බුදු වරයකු දැක, එතැන් පටන් එතනින් යන එන විට දණින් වැටී වැඳ යති. දිනක් මෙය දුටු ඇත් මරුවා “මේ ඇත්තු යන එන හැම විට මේ පසේ බුදුන් වඳිති. මොවුන් එස කරනුයේ කාෂාය වස්ත්‍රය නිසා ය.එබැවින් මාත් කහ සිවුරක් සොයාගත යුතුයැ”යි සිතා පසේ බුදු හිමියන් ජලාශයකට බැස දිය නාන අතරතුරෙහි ඉවුරේ තිබුණු සිවුරු සොරකම් කොට ඇතුන් යන එන මඟෙහි තියුණු ආයුධයක් ද රැගෙන හිස පටන් සිවුරු පෙරවාගෙන සිටියේය.ඇත්තු ද එලෙස වෙස් වලා ගත් ඇත් මරුවා දැක “මේත් පසේ බුදුවරයෙකි”යි සිතා දණ නමා වැඳ යති. එවිට ඇත් මරුවා ද ඇත් පිරිවරේ සියල්ලන්ටම පසුව යන ඇතාට තියුණු අවියෙන් ඇන මරා දළ ආදිය රැගෙන සෙසු කොටස් වළ දමා යාමට පුරුදු විය. පසු කලෙක බෝසතාණන් වහන්සේ ඇත් යෝනියෙහි ඉපිද සියලූ ඇතුන්ට නායකයා වූහ. එකලත් ඇත් මරුවා පෙර පරිදිම ඇතුන් මැරුවේය. බෝසත් ඇතා තම පිරිසේ අඩුවීම දැක, මගේ ඇත් පිරිවර කෙමෙන්, අඩු වී යන්නේ ඇයිදැයි ඇතුන් ගෙන් විචාරා “ස්වාමීනි, අපි නොදන්නෙමු” යැයි ඇතුන් කී විට “උන් කොහේ ගියත් මාගෙන් නො අසා නොයෙති, ඔවුනට කුමක් හෝ උවදුරක් විය යුතු යැ”යි සිතා කසාවත් හැඳ එක් තැනෙක සිටින්නා ගෙන් මේ උවදුර සිදුවිය හැකියැයි සාධාරණ ලෙස සැකකොට එය අල්ලාගත යුතු යැයි සිතීය.එබැවින් ඉන් පසු සියලු ඇතුන් පෙරටුව යවා ඇත් රජ තෙමේ පසුපසින් කල් ගත කරමින් එන්නට විය.. ඇත්මරුවා සෙසු ඇතුන් වැඳ ගිය පසු සුවිසල් සිරුරක් සහ දළ යුවලක් හිමිබෝසත් ඇතු දැක සිවුර තුළ සඟවා ගෙන සිටි ආයුධය ගෙන පහරක් හෙළීය. බෝසත් ඇතු ද සිහි උපදවා ගෙන ආ බැවින් පසුපස්සට පැන එම මරු පහර වළක්වා ගත්තේය. ඉන් කරුණ වටහා ගත් බෝසත් ඇත් රජු “මොහු විසින් මගේ ඇත් පිරිවර නසන ලදැ”යි සිතා ඔහු අල්වා ගැනීමට ඔහු වෙත පැන්නේය. ඇත් මරුවා එක් ගසකට මුවාවී සැඟවුණේය. ඉන්පසු “ඔහු ගසත් සමඟම සොඬෙන් වටකොට අල්වා ගෙන, පොළොවේ ගසන්නෙමි”යි බෝසත් ඇත් රජු සිතනවාත් සමඟම ඇත් මරුවා සිවුර අතින් ගෙනහැර පෑවේය. “ඉතින් මම මූට ද්වේෂ කළොත් නොයෙක් දහස් ගණන් පසේ බුදුවරයන් කෙරෙහි මගේ පවත්නා සැදැහැ සහ ලජ්ජා භය දෙක බිඳගත්තා නම් වෙයි”. මෙසේ සිතූ බෝසත් ඇත් රජු “තෝ මගේ මෙපමණ නෑයන් නැසුයෙහිදැ”යි ඇසීය. ඔහු ද “එසේය ස්වාමීනි” කී විට , “තා කුමක් නිසා මේ බැරෑරුම් අපරාධය කෙළේද? තමන්ට නුසුදුසු රහතුන්ට සුදුසු වස්ත්‍රයක් පෙරවාගෙන මෙබඳු දෙයක් කරන තා බැරෑරුම් පාපකර්මයක් කරන ලද්දේයැ”යි තව දුරටත් නිග්‍රහ කරමින් “අනික්කසාවො” ආදි ඉහත සඳහන් ගාථාව කියා ඇත් මරුවා වනයෙන් පලවා හැරියේ ය.එම ඇත් මරුවා දෙව්දත් තෙරුන් බව ද කසාව ජාතකයේ සඳහන් ය.
ඉහත සඳහන් කතා ප්‍රවෘත්තිය අනුව බලන විට වර්තමානයේ එම ඇතුන් මරන සාහසිකයා ගේ සහ හුදෙක් ලෞකික කාම භෝගී අභිලාෂයන් පෙරදැරි කර ගත් වත්මන් ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාවේ සැළකිය යුතු පිරිසක ගේ ආකල්ප වල කිනම් හෝ සමපාත බවක් වැටහෙනු ඇත.
වර්තමාන ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව පත් වී ඇති මෙම අභාග්‍ය සම්පන්න ඉරණම හමුවේ ථේරවාදී භික්ෂු කතිකාවන් ලියාපදිංචි පනත වැනි නීතිමය රාමුවකින් හෝ භික්ෂුන් පාලනය කිරීමේ බලය ඒ ඒ නිකායික මහ නා හිමිවරුන්ට පැවරීම ඉතා සාධනීය කටයුත්තක් බව අපගේ වැටහීම ය. එසේ මහ නා හිමිවරුන් ඇතුළු කාරක සභාවලට සංඝ සම්මුතියට යටත් නොවන දඩබ්බර අකීකරු භික්ෂුවන් බන්ධනාගාර ගත හැකි ප්‍රතිපාදන පවා එම පනතට එක්ව තිබීම “පවත්නා තත්වයේ හැටියට” සතුටට කරුණකි. එමෙන්ම ගත වූ දිගු කාලය පුරා තම නිකායට අයත් භික්ෂුන් පාලනය කර ගැනීමට හැකියාවක් නොතිබුණු මහ නා හිමිවරුන් මෙම පනතට පක්ෂව කරුණු දැක්වීම සාධනීය දෙයක් බව අපගේ වැටහීම ය.
හේන තුළ කිසිවක් වගා කොට නොමැති පසුබිමක දඬු වැටක් අවශ්‍ය වන්නේ කුමකටද? කීවාක් මෙන් ශාසනික ප්‍රතිපත්තිමය වශයෙන් අන්ත පරිහානියට පත් බුදු සසුන රැකීමට මෙවන් නීතිමය අනපනත් කුමකටදයි ඇතැමෙක් අප ගෙන් ද අසා සිටිති. එවිට අප කියා සිටිනුයේ දඬු වැට හරි හැටි සකසා තිබුණ හොත් මේ කන්නයේ නොහැකි නම් ලබන කන්නයේ වත් හේනේ සුදුසු වගාවක් ආරම්භ කළ හැකි බවකි. එසේ නොමැති වුවහොත් සිදු වනුයේ මහා කස්සප ථේර ගාථාවල දැක්වෙන අන්දමට බුද්ධ ශාසනය සිංහ හම් පොරවාගත් වඳුරන් ගෙන් පිරී යාම පමණි.මේ වන විටත් එය සිදු වෙමින් පවතී                                                                                                                                                                                                                            දිවුල්වැවේ ජිනරතන හිමි

පහන් ටැඹ