හෙළයේ ගීත කෝකිලාවිය සදහටම නිහඬ වෙයි

සිංහල ගීත කලාවේ අනභිබවනීය මතක සටහන් තබමින් හෙළයේ ගීත කෝකිලාවිය ලෙසින් විරුදාවලිය ලත් අද්විතීය ශ්‍රී ලාංකේය ගායන ශිල්පිනී දේශමාන්‍ය ලතා වල්පොළ මහත්මිය ඊයේ (27) අභාවප්‍රාප්ත වූවා ය. වසර හැත්තෑවකට අධික කාලයක් පුරා මෙරට ගීත ක්ෂේත්‍රය සිය මියුරු හඬින් පෝෂණය කළ ඇය මිය යන විට 91 වන වියේ පසුවිය. ඇය චිත්‍රපට 600කට අධික සංඛ්‍යාවක පසුබිම් ගීත ගායනය කර තිබේ.අතිශය සුමධුර හඬ අනන්‍යතාවක් උපතින්ම දායාද කරගත් ඇ‍ය ඉතා පුළුල් ස්වර පාරාසයක් තුළ සිය ගායන ප්‍රතිභාව පළ කිරීමෙන් සුවිශේෂත්වයට පත් වූවා ය. ජෝසප් ප්‍රනාන්දු සහ එළිසබෙත් මියුරියල් යුවළගේ දරුවන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස 1934 වසරේ නොවැම්බර් මස 11 වන දින ගල්කිස්ස ප්‍රදේශයේ දී උපත ලැබූ ලතා වල්පොළ මහත්මිය දෙහිවල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන අතරේ. කුඩා කල සිටම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දරමින් සිය ගායන ප්‍රතිභාව මනාව ඔප් නංවා ගත්තාය.වයස අවුරුදු 12 තරම් ළාබාල වියේදීම කලා ලොවට පිවිසි ලතා වල්පොළ මහත්මිය, 1946 වසරේ දී සී.ඒ. ෆොන්සේකා මහතාගේ මඟපෙන්වීම යටතේ රේඩියෝ සිලෝන් හි ගායන ශිල්පිනියක ලෙස සිය වෘත්තීය ගමන ඇරඹුවාය. ඉන් අනතුරුව, 1947 දී වින්සන්ට් ද අල්විස් මහතාගේ සංගීත නිර්මාණයකට අනුව ඇය ගැයූ “කඳුළු දෙනෙතේ වැහෙනා” ගීතය ඇයගේ ප්‍රථම ඒක පුද්ගල ගීතය ලෙස ඉතිහාසයට එක් විය.ලතා වල්පොළ මහත්මිය සිංහල සිනමාවේ පසුබිම් ගායනයට ඇය ප්‍රවිෂ්ට වූයේ 1953 වසරේදී තිරගත වූ ‘එදා රෑ’ චිත්‍රපටයෙනි., ඉන් පසුව චිත්‍රපට 600කට අධික සංඛ්‍යාවකට සිය මියුරු හඬින් දායක වෙමින් ‘සිංහල සිනමාවේ ගී රාජිනිය’ ලෙසින් විරුදාවලිය ලත් ලතා වල්පොළ මහත්මිය, ආචාර්ය පණ්ඩිත් අමරදේව ප්‍රේමසිරි කේමදාස වැනි ප්‍රවීණ සංගීතවේදීන් ඇතුළු බොහෝ නිර්මාණකරුවන්ගේ සංගීත නිර්මාණ ඇතුළු දස දහසකට අධික ගීත සංඛ්‍යාවක් ගායනා කර ඇති බව පැවසෙයි.හි දී බොහෝ ප්‍රවීණ සංගීතඥයන් පවසා ඇත්තේ තමන් ඉදිරිපත් කරන ඕනෑම ස්වර සංගතියකට අයත් තනු නිර්මාණ තම ආධිපත්‍යයට ගෙන විශිෂිඨ නිර්මාණ ඉදිරිපත් කිරීමේ සුවිශේෂ වූ ප්‍රතිභාවක් ඇය සතුව තිබූ බවයි.එහි දී “ගැටවරයෝ” චිත්‍රපටය සඳහා ඇය ගැයූ “හීන හතක් මැද” ගීතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලිය මඟින් අදහස් පළ කළ එහි සංගීත අධ්‍යක්ෂ ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීන් පවසා ඇත්තේ “මම වයලීනයෙන් යාන්තමට නාද රටාව මතු කරන කොටම ලතා ඒ ස්වර සංගතිය විශිෂ්ට විදිහට ගායනයෙන් ඉදිරිපත් කළා නේ” යනුවෙනි. 1959 වසරේදී ප්‍රවීණ ගායක ධර්මදාස වල්පොළ මහතා සමඟ විවාහ වූ අතර, එතැන් පටන් ලතා වල්පොළ නමින් ප්‍රකට විය. සිව් පුතුන්ගේ සහ එක් දියණියකගේ ආදරණීය මවක වූ ඇය, කලා ක්ෂේත්‍රයට දැක්වූ අනුපමේය සේවය අගයමින් රාජ්‍ය සම්මාන රැසකින් ද පිදුම් ලැබුවාය. ඒ අනුව, 2005 වසරේදී කලාශූරී සම්මානයෙන් ද, 2017 වසරේදී දේශමාන්‍ය සම්මානයෙන් ද රජය විසින් ඇයව ගෞරවයට පාත්‍ර කර ඇත. එමෙන්ම, සරසවිය සම්මාන හතරක් ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියක් දිනාගත් ඇය, 2022 වසරේදී පැවති සිලෝන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී යාවජීව සම්මානයෙන් ද පිදුම් ලැබීම විශේෂත්වයකි.

කාලීන පුවත්