ෆේස් බුක් ඉන්ස්ටග්‍රෑම් වලට හිටපු ගමන් මොකද වුණේ?

ගෙවී ගිය පෙබරවාරි 5 වැනිදා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය එකවර බිඳ වැටුණු පුවතක් ලොව පුරා පැතිර ගියේය. ග්‍රිිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් උදේ 10 ට පමණ ඇති වූ මේ ගැටලුව පැය ගණනාවක්ම පැවති අතර ෆේස්බුක් පරිශීලකයන්ට සිය නිවැරදි මුරපදය ලබාදීමෙන් පසුව පවා සිය ගිණුමට ඇතුළවන්නට හැකියාවක් ලැබුණේ නැත. මේ සම්බන්ධව තවත් තරගකාරී සමාජ මාධ්‍ය ජාලයක් වන එක්ස් හි හිමිකරු වන ඉලොන් මස්ක් සරදමට මෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ, “ඔබට මේ පණිවිඩය කියවන්නට හැකි නම් එයින් කියවෙන්නේ අප ජාලයේ ගැටලුවක් නැති බවයි” යන්නය.

මෙයට පිළිතුරු දෙමින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම් සහ වට්ස්අප් යන සමාජ ජාලවල හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ සන්නිවේදන කළමනාකරු ඇන්ඩි ස්ටෝන් පවසා සිටියේ තම සමාගම මේ සම්බන්ධව මනා දැනුම්වත්භාවයකින් පසුවන බවත් ගැටලුව ඉතා ඉක්මනින් සමනය කිරීමට පියවර ගන්නා බවත්ය. මෙය හැකර් ප්‍රහාරයක් නොවන බව හැඟවූ නමුත් සිදුව ඇත්තේ සැබවින්ම කුමක්ද යන්න හෙළිකිරීමෙන් වැළකී සිටින්නට පියවර ගත්තේය. කෙසේ නමුත් මේ ගැටලුව මතු වූ මාර්තු 5 වැනි අඟහරුවාදා දිනය ඇමරිකා එක්සත් ජනපදය මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ සුවිශේෂී දිනයකි. මේ අඟහරුවාදා දිනය හඳුන්වනු ලබන්නේ ‘සුපිරි අඟහරුවාදා’ (Super Tuesday) යන නමිනි. එරට ජනාධිපතිවණයක් පවත්වන්නට පෙර එයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජනප්‍රසාදය සම්බන්ධ වැටහීමක් ලබා ගනු වස් පූර්ව මැතිවරණයක් පැවැත්වීම 1984 වසරේ දී ආරම්භ විය. මේ වසරේ නොවැම්බර් මාසයේ දී පවත්වන්නට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධ පූර්ව මැතිවරණය යෙදී තිබුණේ 5 වැනි අඟහරුවාදා දිනයේ දීය. අපේක්ෂකයන් ජනතාව වෙත සිය අදහස් ඉදිරිපත් කරන ප්‍රධාන වේදිකාවක් බවට පත්ව තිබුණේ ෆේස්බුක් සමාජ ජාලයය. එදිනම එය බිඳ වැටීම අහම්බයක් ද සිතාමතාම කරන ලද්දක් ද යන සැකය මේ වන විට බොහෝ දෙනෙක් පළ කරමින් සිටිති.

ෆේස්බුක් සහ ඉන්ටග්‍රම් සමාජජාලවලට අමතරව වට්ස්අප් ද මේ ගැටලුවට මුහුණ දී තිබුණ ද පරිශීලකයන්ට දැනෙන්නට පෙර එය විසඳාගැනීමට මෙටා සමාගමට හැකියාව ලැබිණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර