1547ක් සිටිය යුතු කාර්ය මණ්ඩලය 990ක් ව තිබිය දීත් ඉතිහාසයේ වැඩිම ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වෙයි

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව 2023 වසරේදී සමත් විය. එය රුපියල් බිලියන 975 වේ. ඒ සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මෙසේ දැක්වෙයි ශ්‍රී ලංකා රේගුව විසින් රේගු ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේදී සමත් විය. එය රුපියල් බිලියන 975 වේ. ශ්‍රී ලංකා රේගුව විසින් මීට පෙර උපයා ගත් වැඩිම ආදායම වාර්තා වූයේ 2018 වසරේදී වන අතර එය රුපියල් බිලියන 923 කි.

2023 වසර මුලදී අමාත්‍යාංශය විසින් රේගුවට බිලියන 1217 ක ආදායම් ඉලක්කයක් ලබා දී තිබූ අතර රට තුළ පැවති අයහපත් මූල්‍යමය වාතාවරණය සහ පනවා තිබූ ආනයන සීමා සැලකිල්ලට ගෙන එම ඉලක්කය රුපියල් බිලියන 893 ක් දක්වා පසුව සංශෝධනය විය. 2023 වසරේදී රේගුව උපයා ගත් රුපියල් බිලියන 975 ක මුදල සංශෝධිත ඉලක්කය ඉක්මවා 109% වර්ධනයක් පෙන්නුම් කරන අතර එය වසර මුල ලබා දී තිබූ ඉලක්කයෙන් 80% ක් ඉක්මවා යාමකි. 2022 වසරේදී රේගුවට ලැබී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 730 ක් වූ අතර එම වසරේදී රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 708 කි. ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී 138%ක පමණ ආදායම් වර්ධනයක් පෙන්නුම් කරයි.

මීට පෙර වැඩිම ආදායමක් උපයා ගත් 2018 වසරේදී ආනයනයන් නිදහසේ ගලා ආ අතර මෝටර් රථ ආනයනයෙන් පමණක් බිලියන 180ක ආදායමක් රේගුවට හිමිවුණි. නමුත් 2023 වසරේදී බොහෝ ආනයනයන් සඳහා සීමා පනවා තිබූ අතර විදේශ විනිමය හිඟය නිසා ආනයනයන් පහත වැටී තිබුණි. 2023 වසරේදී මෝටර් රථ ආනයනයෙන් රේගුවට උපයාගත හැකි වූයේ බිලියන 10ක් පමණි. 2018 වර්ෂයේ මුළු ආනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 21.7ක් වූ අතර 2023 වසරේ එය ඇමරිකානු ඩොලර් බිලියන 15.6 දක්වා 28% කින් පහළ ගොස් තිබුණි. එසේම බොහෝ භාණ්ඩයන්හි ප්‍රමාණයන් 2018 වසරට සාපේක්ෂව 40% සිට 50% දක්වා පහත වැටී තිබුණි.

ඉහත සඳහන් කළ දුෂ්කරතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා රේගුව බදු එකතු කිරීමේ ක්‍රියාවලියට සිදු කළ සුවිශේෂී වෙනස්කම් හේතුවෙන් මෙම වාර්තාගත ආදායම ලබාගැනීමට හැකි වූ බව සඳහන් කළ යුතුය. විශේෂයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වසර මුලදී රේගුවේ සියලුම අංශ සඳහා ක්‍රියාත්මක කළ හැකි කාර්යසාදන සටහනක් සකස් කරවා එය ක්‍රියාත්මක කරවා ගැනීමට කටයුතු කිරීමයි. අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ මෙම කාර්ය සාධන කාලසටහන ක්‍රියාත්මක කිරීමට සියලුම අංශ දැඩි කැපවීමකින් යුක්තව කටයුතු කළ අතර විශේෂයෙන් මධ්‍යම මිල පිරික්සුම් අංශය, නිවාරණ අංශය, ආදායම් අධීක්ෂණ ඒකකය, අනුගත වීම් හා පහසුකම් සැලසීමේ අංශය හා මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශය යන අංශ මගින් රේගු ආදායම සුරක්ෂිත කිරීම හා නියමිත බදු එකතු කරගැනීමට කළ සුවිශේෂී කැපවීම හා දායකත්වය සඳහන් කළ යුතුය.

පසුගිය වසර කීපය හා සසඳන කල මෙම අංශ මගින් එකතු කළ ආදායම කීප ගුණයකින් වැඩි වී තිබූ අතර එහි කාර්යක්ෂමතාවය ගතහොත් මධ්‍යම මිල පිරික්සුම් අංශය රුපියල් බිලියන (7) හතක් පමණ වූ සිව්ගුණයක වැඩිවීමක්ද, නිවාරණ අංශය රුපියල් බිලියන (2) දෙකක් පමණ වූ පස් ගුණයක වැඩිවීමක්ද, ආදායම් අධීක්ෂණ අංශය රුපියල් බිලියන (2.5) දෙකයි දශම පහක් වූ දෙගුණයක වැඩිවීමක්ද, මධ්‍යම භාණ්ඩ සමීක්ෂණ අංශ රුපියල් බිලියනයක් වූ (2) දෙගුණයක වැඩි වීමක්ද, පශ්චාත් නිෂ්කාශන විගණන අංශය රුපියල් බිලියන (2.5) දෙකයි දශම පහක් වූ දෙගුණයක වැඩිවීමක් ද වාර්තාකොට තිබුණි. මෙම අංශවල ආදායම් වර්ධනයට රේගු අවදානම් කළමනාකරණ අංශය විසින් වැඩි අවදානමක් සහිත ආනයනයන් රේගු පරීක්ෂාවන්ට හා වටිනාකම් තක්සේරු කිරීමට යොමු කිරීම මගින් විශාල දායකත්වයක් දක්වා ඇත. මීට අමතරව රේගුවේ අනෙකුත් සියලුම අංශයන් හැකි උපරිම අයුරින් මේ සඳහා දායකත්වය ලබා දී ඇත. මේ සියලු කාර්යයන් ශ්‍රී ලංකා රේගුව සිදුකොට ඇත්තේ 1547ක් සිටිය යුතු කාර්ය මණ්ඩලය 990ක් පවතින අවස්ථාවකදීය.මෙම අසීරු අවස්ථාවේදී වාර්තාගත බදු ආදායමක් උපයා එමගින් රටේ ආර්ථිකයටඋපරිම ශක්තියක් ලබාදීමට හැකි වීම පිළිබඳ සමස්ත රේගු කාර්ය මණ්ඩලය ස්වකීය සතුට පළ කර සිටී.

එතෙර - මෙතෙර