2020 න් පසු ලොව ධනවත්ම පුද්ගලයන් පස් දෙනාගේ ධනස්කන්ධය දෙගුණ වෙලා

ලෝකයේ අති විශාල ජනතාවක් සිය එදිනෙදා වියදම් සොයා ගැනීමට පවා නොහැකිව දිළිඳුභාවයේ ගැලී සිටියදී ලොව ඉහළම ධනපතියන් ඉතා වේගයෙන් පොහොසත් වෙමින් සිටින ආකාරය සැබැවින්ම විස්මය දනවන සුළුය. මෙම ඇති-නැති පරතරයෙහි ස්වභාවය මනාව පෙන්වා දෙන අලුත් වාර්තාවක් මෙයට දින කිහිපයකට පෙර නිකුත්ව තිබූ අතර මාධ්‍ය තුළින් ඊට විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබිණි. මෙම වාර්තාව නිකුත් කරනු ලැබ තිබුණේ ඔක්ස්ෆැම් (Oxfam) නැමැති ජාත්‍යන්තර සංවිධානයක් විසිනි. එම සංවිධානය සෑම වසරකම මුල් මාසයේ මෙවැනි වාර්තාවක් නිකුත් කරයි.

මෙවර වාර්තාවෙන් ඔක්ස්ෆෑම් ආයතනය අනාවරණය කර ඇති කාරණයක් වන්නේ 2020 න් පසු ගත වූ වසර හතර තුළ ලොව ධනවත්ම පුද්ගලයන් පස් දෙනාගේ වත්කම් දෙගුණයක් වී ඇති බව යි. මෙම පස් දෙනාගේ ශුද්ධ වත්කම්වල එකතුව පසුගිය වසර අවසානය වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 869 ක් වූ බව ද එහි සඳහන් වේ. 2020 වසරට සාපේක්‍ෂව න් මස්ක්, බර්නාඩ් ආනෝ, ජෙෆ් බෙසෝස්, වොරන් බෆෙට්, ලැරී එලිසන් යන අය යි. මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමරිකානු ව්‍යාපාරික ඊලෝන් මස්ක්ගේ ප්‍රධාන ව්‍යාපාර වන්නේ විදුලි මෝටර් රථ නිශ්පාදනය, සමාජ මාධ්‍ය සහ අභ්‍යවකාශ ගවේෂණය යි. වාණිජ පදනමින් අභ්‍යවකාශ ගවේෂණ කටයුතු වල නිරත වන ඔහුගේ ස්පේස්එක්ස් (SpaceX) සමාගම මේ වනවිට විශාල වශයෙන් ලාභ ලබන සමාගමකි. එමෙන්ම කලින් ට්විටර් නමින් හැඳින්වුණු සමාජ මාධ්‍ය අඩවියේ අලුත් හිමිකරුවාද මස්ක් ය. දැන් එම අඩවිය හැඳින්වෙන්නේ X යන නමිනි. ඔහුට අයත් ටෙස්ලා සමාගම විදුලි මෝටර් රථ නිශ්පාදන ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින්නකි.

බර්නාඩ් ආනෝ ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකි. බහජාතික සමාගමක් වන LVMH සමාගමේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයා ඔහු යි. මෙය සුඛෝපභෝගී භාණ්ඩ නිශ්පාදනයේ සහ අලෙවියෙහි නිරත සමාගමකි. ඇඳුම්, වයින් ඇතුළු මත්පැන්, රූප ලාවන්‍ය භාණ්ඩ, අත් ඔරලෝසු, සුවඳ විලවුන්, ස්වර්භාභරණ ආදිය මෙම සමාගම විසින් අලෙවි කරනු ලැබේ.

ජෙෆ් බෙසෝස් යනු සුප්‍රකට ඇමසන් සමාගමේ නිර්මාතෘවරයා ය. ඇමසන් සමාගම ඔන්ලයින් වෙළෙඳාමේ පුරෝගාමී සමාගමකි. පසුගිය කොවිඩ් වසංගත සමයේ ඔන්ලයින් වෙළෙඳාමෙන් අධික ලාභ ලැබීමට මෙම සමාගම සමත් විය. ඇමරිකානු ජාතික බෙසෝස් ද ඊලෝන් මස්ක් මෙන්ම අභ්‍යවකාශ ගවේෂණ සමාගමක ද හිමිකරුවෙකි. මෙම සමාගමේ නම Blue Origin ය.

තවත් ඇමරිකානු ජාතිකයකු වන වොරන් බෆෙට්ට අයත් සමාගම්වල ප්‍රධානම ව්‍යාපාරය වන්නේ රක්‍ෂණය යි. ඊට අමතරව රස කැවිලි නිශ්පාදනය, ස්වර්ණාභරණ, ඇඳුම්, විදුලිය, ස්වභාවික ගෑස්, දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි ක්‍ෂේත්‍රවල ද ඔහුගේ සමාගම් ව්‍යාපාර කරයි.

ලැරී එලිසන්ගේ ප්‍රධාන ව්‍යාපාරික ක්‍ෂේත්‍රය වන්නේ පරිගණක තාක්‍ෂණික ක්‍ෂේත්‍රය යි. ඔහු ද ඇමරිකානු ජාතිකයෙකි.

මෙම පස්දෙනා ඇතුළු ලෝකයේ ඉහළම ධනපතියන්ගේ වත්කම් පසුගිය වසර කිහිපය තුළ වේගයෙන් ඉහළ ගොස් ඇති බව ඔක්ස්ෆැම් වාර්තාව පෙන්වා දෙයි. 2020-2021 අතර කාලයේ ලෝකයේ උපදවන ලද නව ධනයෙන් සියයට 63 ක ප්‍රතිශතයක් අයිති කරගෙන ඇත්තේ ඉහළම ධනපතියන් සියයට 1 ක පිරිස විසිනි. ලෝක ජනගහණයෙන් ඉතිරි සියයට 99 ටම හිමිව ඇත්තේ මෙම නව ධනයෙන් සියයට 37 ක් පමණි. මේ වනවිට ලෝකයේ ආදායම් බෙදී යාමේ දැවැන්ත විෂමතාව තේරුම් ගැනීමට මෙය කදිම සාක්ෂියක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඇමරිකානු ඩොලර් බිලියනයට වැඩි වත්කම් හිමි බිලියනපතියන් ලෝකයේ සිටියත් ටි්‍රලියනපතියන් කිසිවකුත් නැත. නමුත් අද මෙම බිලියනපතියන් ධනවත් වෙමින් සිටින වේගයට අනුව තව වසර 10 ක් තුළ ටි්‍රලියනපතියකු ද බිහි වීමේ ඉඩක් ඇති බව ඉහත වාර්තාව සඳහන් කර තිබේ.( ටි්‍රලියනයක් යනු බිලියන 1,000 කි. බිලියනයක් යනු මිලියන 1,000 කි). මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම පසුගිය 17 වැනි දින සටහන් වූයේ ඇ.ඩොලර් බිලියන 207 ක් ලෙසිනි.

ධනවතුන්ගේ ධනස්කන්ධය මේ ආකාරයෙන් තව දුරටත් ගොඩගැසෙමින් තිබුණත් ඔක්ස්ෆැම් වාර්තාව සඳහන් කරන ආකාරයට ලෝකයේ දිළිඳුකම තුරන් වීමට තව වසර 230 ක පමණ කාලයක් ගත වනු ඇත.

මෙයට වසර කිහිපයකට පෙර දකින්නට ලැබුණේ ලොව දිළිඳුකම ක්‍රමානුකූලව අඩු වෙමින් යන ආකාරයකි. නමුත් මේ වනවිට නැවතත් දිළිඳුභාවය වැඩි වෙමින් ඇති බවක් අනාවරණය වී තිබේ. මේ ආකාරයෙන් නැවතත් දිළිඳුභාවය වැඩි වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන්නේ දශක තුනකට පමණ පසුව වීම විශේෂත්වයකි. කොවිඩ් වසංගතය නිසා බොහෝ රටවල ආර්ථිකයන් කඩා වැටීම, යුද ගැටුම් වැනි කාරණා ද දිළිඳුකම ඉහළ යාමට හේතු වී තිබේ. විශේෂයෙන් යුක්fරේන යුද්ධය ලෝකයේ බොහෝ රටවලට දැඩි ආර්ථික බලපෑමක් කළ කාරණයකි. මේ වනවිට ඉදිරියට යමින් ඇති ඊශ්‍රායල-හමාස් යුද්ධය නිසාත් ඉදිරියේ දී ලෝක ආර්ථිකයට බලපෑමක් ඇති විය හැකි බවට බිය පළවෙමින් තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර