නොසිතූ ලෙස එක්වරම ඇතිවිය හැකි අපස්මාරය

බාහිරට පෙනෙන්නට කිසිම රෝගයක් නැති කෙනෙකු එක්වරම බිම ඇද වැටී, මුළු ශරීරයම ගැහෙමින් ප්‍රකෘති සිහියකින් තොරව දඟලන රෝගීන් ඔබත් දැක ඇතැයි සිතමු. අපස්මාරය, වලිප්පුව සහ තවත් විවිධ නම්වලින් සමාජය විසින් හඳුන්වනු ලබන මෙම රෝග තත්ත්වය කුමක්ද ? අපස්මාර වර්ග 20කට අධික ප්‍රමාණයක් ඇතත් අප මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපස්මාර රෝගයේ පොදු ස්වභාවය මිස එක් එක් අපස්මාර තත්ත්වයන් පිළිබඳ නොවේ.

මෙය සිදුවෙන ආකාරය කෙසේ දැයි සොයා බලමු.

අපේ ශරීරයේ අත් පා වැඩ කරන්නට නම් අත් පා වෙත විදුලි පණිවිඩයක් ලැබිය යුතුය. මේ විදුලි පණිවිඩ එවනු ලබන සියලු ස්විච් තිබෙන්නේ මොළය තුළ ය. මෙයත් හරියටම කිවහොත් නිවසේ ස්වීචයක් දැමූ සැණින් බල්බයක් දැල්වීම වැනිම දෙයකි. අප ජීවත් වන්නේ ද මොළය තුළ ය . ශරීරයම අපට අවශ්‍ය අයුරින් වැඩ කිරීම යනු මුළු ශරීරයම මොළයේ අණසකට යටත් වීම ය.
ඔබ කෙළින් සිටගෙන සිටින්නේ නම් එලෙස සිටගෙන සිටින්නට අවශ්‍ය අත් කකුල්වල මාංශ පේශි අපේ අනුදැනුමකින් තොරව මොළය විසින් දිගටම තබා ගැනීම සිදුවේ. එසේ වුවද මොළයේ ඇති විය හැකි යම් අර්බුදයක් නිසා මේ විදුලි පද්ධතිය එක්වරම විකෘති වීම සිදු විය හැකිය. සියලු මාංශපේෂි එක්වරම තදවී යම් වෙලාවක් පවතින අතර ඉන්පසු මුළු ශරීරයම ගැහෙන්නට පටන් ගනී. ඊළඟට සිදු වන්නේ රෝගියා සිහිසුන් වී බිමට ඇදගෙන වැටීමය. හුස්ම ගැනීම පවා මොහොතකට නතර වනු ඇත. හුස්ම පිට වන විට කටින් ශබ්දයක් නැගේ. දත් අතරට දිව මෙන්ම තොල් හැපෙන්නටද පුළුවන. ඇතැම් විට ඉබේම මලමුත්‍රා පහ විය හැකිය . තවත් යම් වෙලාවකට පසු අත් කකුල්වල ඇතිවී තිබූ තද ගතිය ලිහිල් වෙයි. නමුත් රෝගියා තවත් වේලාවක් යනතුරු දිගටම සිහිසුන් වී සිටිය හැකිය .
එක් වරක් මෙවැනි දෙයක් සිදු වූ විට නැවත නැවත මෙය සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩිය. යම් ලෙසකින් මෙවැනි දෙයක් ඔබ දුටුවොත් කලබල නොවී මේ ආකාරයට කටයුතු කළ යුතුය.

රෝගියා එක පැත්තකට හරවන්න. කිසිම දෙයක් පෙවීමෙන් වළකින්න. අත් කකුල් ගැහීම නවත්තන්නට උත්සාහ නොකරන්න. රෝගියාට වාතාශ්‍රය ලැබීම අවහිර වන අයුරින් මිනිසුන් රැස්වීම වළක්වන්න. රෝගියාගේ අතට යකඩයක් ලබාදීම කිසිදු ප්‍රයෝජනයක් නැති ක්‍රියාවකි. කට ඇතුළටද කිසිම දෙයක් දමන්නට හෝ කට අරින්නට උත්සාහ නොකළ යුතුය . හැන්දක් දැමීම වැනි දේවල්ද කළ යුතු නැත. මඳ වෙලාවකින් රෝගියාගේ ගැස්ම නවතින්නේ නැත්නම් රෝගියා රෝහලකට රැගෙන යාම කළ යුතු වන්නේ ඉන්ජෙක්ෂන් එකක් ලබා දීමෙන් ගැහෙන ස්වභාවය නැවතිය හැකි බැවිනි . එවැනි රෝගියෙක් මෙසේ ගෙන යන විටත් පැත්තකට හරවා තබා ගැනීම ආරක්ෂිත ය. නැත්නම් රෝගියා වමනය දැම්මොත් එම ද්‍රව්‍ය රෝගියාගේ පිටඋගුරේ යෑමෙන් හුස්ම හිර විය හැකි නිසා ය . මෙවැනි රෝගියෙක් රෝහලට ගෙන යන විට, සිදු වුණු දේ පැවසීම සඳහා එය ඇසින් දුටු කෙනෙකු රෝගියා සමග වෛද්‍යවරයා ළඟට යා යුතුය. සිදු වුණු දේ ගැන කිසිවක් රෝගියා දන්නේ නැති නිසා සිදු වුණේ කුමක්ද යන්න වෛද්‍යවරයාට රෝගියාගෙන් දැනගත නොහැකිය.

සමහර රෝගීන්ට ජීවිතයටම මෙවැනි දේ සිදුවන්නේ එක්වරක් පමණි. දෙවරක් මෙසේ හැදෙනවා නම් ඖෂධ ගැනීම ආරම්භ කරනු ඇත. තවත් එවැනි දෙයක් සිදු නොවන්නට සුදුසු ඖෂධ ප්‍රතිකාර වර්තමානයේ පවතී. දිගින් දිගටම වෙලාවට ඖෂධ ලබා ගැනීම රෝගියාගේ වගකීමයි. ඉන්පසු සාමාන්‍ය ජීවිතයකට ක්‍රමයෙන් හුරු වන්නට රෝගියාට හැකියාව ලැබේ. නමුත් තවත් විශේෂයෙන් දෙයක් සඳහන් කළ යුතු දෙයක් ඇත. ඖෂධ මඟින් රෝගියාට නැවත මේ තත්ත්වය ඇති වීම පාලනය කළ හැකි වුවත් එය නැවත නො හැදෙන්නේ යැයි සියයට සියයක්ම නිශ්චිතව කිව නොහැකිය. එනම්, රෝගය නැවත හැදීම සඳහා සුළු අවදානමක් පවතින බව සිහියේ තබා ගත යුතු වේ.

තවත් වරක් මෙසේ හැදෙනවා නම් පුටුවක වාඩි වී සිටින විට සමහරවිට ඔබ බිමට වැටෙන්නට පුළුවන. එසේම සමහර ඉරියව්වල සිටින විට මෙවැනි දෙයක් සිදු වුවහොත් ජීවිතයට අනතුරක් වන්නටද ඉඩ තිබෙන බව හොඳින් මතක තබාගත යුතුය. මෙය කොයි වෙලාවක කෙලෙස හැදෙනවාද යන්න කවුරුත් දන්නේ නැත . ඔබ වාහනයක් එලවන විට, බයිසිකලයක් පදින විට හැදුනොත් සිදු වනදේ සිතාගන්නට පුළුවන්ද? පඩිපෙළක් උඩට නගින විට ගහක් දිගේ උඩට නගින විට පලංචිවල නගින විට සිදුවන දේ අමුතුවෙන් කිව යුතු නැත . ගඟක මුහුදක නාන විට අනාරක්ෂිත ළිඳකින් වතුර අදින විට ප්‍රවේශම් විය යුතුය. කුස්සියේ ගින්දර උඳුනට එබී බලන විට ගින්දර මතටම වැටෙන්න පුළුවන. අත දරුවන් වඩාගෙන සිටින විට මෙවැනි දෙයක් සිදු වුණොත් විශාල අනතුරක් සිදු විය හැකිය.
ඖෂධ ලබා ගන්නා විට කලාතුරකින් විවිධ අතුරු ආබාධ ඇතිවිය හැකි නමුත් ඖෂධයෙහි ගුණය ඉතා වැඩි නිසා වෛද්‍යවරු මේවා නිර්දේශ කරති. වෛද්‍ය නිර්දේශය මත ඖෂධ ලබා ගත්තත් යම්කිසි වෙනසක් තමන්ට දැනෙනවා නම්, ඖෂධවල අතුරු ආබාධ වැඩි නම් වෛද්‍යවරයා හමුවී මේවා සාකච්ඡා කළ යුතුය. කාන්තාවක් ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් සමහර ඖෂධ නොසුදුසු බැවින් වෛද්‍යවරයාව කලින්ම ඒ ගැන දැනුවත් කළ යුතුවේ. එවිට කළලයට අඩුම ආබාධ ඇතිවන අයුරින් ඖෂධ ලබාගැනීමට හැකි වනු ඇත.

මෙවැනි තත්ත්වයක් වැඩිහිටි අයකුට එක්වරම හටගතහොත් එය සොයා බැලිය යුතු තත්වයකි . ශරීරයේ විවිධාකාර ආබාධ, මොළයේ ගෙඩි වැනිදෑ ද මෙයට හේතු විය හැකි බැවිනි.
ඒ නිසා මොළයේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මෙය ඉන්ජෙක්ෂන් එකක් ලබාදී සිදුකරන ස්කෑන් පරීක්ෂණයක් නිසා, ඔබට ඇදුම හෝ වෙනත් අසාත්මිකතාවයක් තිබෙන්නේ නම් වෛද්‍යවරයා ව දැනුවත් කළ යුතුය. වෛද්‍ය නිර්දේශය මත ඖෂධ ලබා ගැනීම තුළින් විවාහයට, රැකියාවට මෙන්ම එදිනෙදා ජීවිතයටත් මෙම රෝගය බාධාවක් නොවන සේ ජීවත් වීමේ හැකියාව පවතී.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය