ඉන්දීය සිනමාවේ සුවිශේෂී රංගන පෞරුෂයක් වූ ප්‍රවීණ නළු නානා පාටේකර්ගේ අවසන් කටයුතු අද (08) පස්වරු 4.00ට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ දොන්ජේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ෆාම්හවුස් පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. මහාරාෂ්ට්‍ර රජය විසින් ඔහුගේ මරාති නාට්‍ය කලාවට මෙන්ම මරාති සහ හින්දි සිනමාවට කළ දීර්ඝකාලීන දායකත්වය සැලකිල්ලට ගනිමින් මෙම ගෞරවය ලබාදීමට තීරණය කර තිබේ.75 වැනි වියේ පසු වූ නානා පාටේකර් අද (08) අලුයම ගෝවාහි දෝනා පෝලා ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී හදිසි හෘදයාබාධයකට ලක්ව මියගොස් තිබේ. සිහිසුන්ව සිටි ඔහු වහාම මනිපාල් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් විනාඩි 45කට ආසන්න කාලයක් ඔහුට ප්‍රතිජීවන ප්‍රතිකාර ලබා දී තිබුණද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත. ඔහු අලුයම 5.20ට පමණ මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ දේහය අද පස්වරුවේ පූනේ වෙත රැගෙන ඒමට නියමිත අතර, දොන්ජේහි පිහිටි ෆාම්හවුස් පරිශ්‍රයේදී රසිකයන්ට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සැලසෙන බව නානා පාටේකර්ගේ සමාජ සේවා සංවිධානය වන ‘නාම් ෆවුන්ඩේෂන්’හි ප්‍රධාන විධායක නිලධාරී ගනේෂ් තෝරාට් ප්‍රකාශ කර තිබේ.