මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 ක සක්‍රිය සිරදඬුවම් හා රුපියල් ලක්ෂ 206ක දඩයක් ගෙවීමට පසුගියදා (19) නියෝග කළේ ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වන අලි පැටවුන් නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරමට වැට බැඳීම පිළිබඳව නව බලාපොරොත්තුවක් ඇති කරමිනි. ඔහු සිපිරිගෙට නියම වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ අලියකු බව හඟවමින් ලියාපදිංචි නොකළ හා සන්තකයේ තබා ගැනීමට බලපත්‍රයක් නොමැති පොදු දේපළක් වන අලියකු නීතිවිරෝධී ආකාරයෙන් සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකට වරදකරු කරමිනි. නමුත් ඒ පුවත සැළවීමත් සමග ඇතිවූ බලපොරොත්තුවට ආයුෂ පැවතුණේ නඩු තීන්දුව පිළිබඳව වැඩි දුර තොරතුරු වාර්තාවන තෙක් පමණි.
මව් සතුන් මරා ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වූ අලි පැටවුන් පැහැරගෙනවිත් මුදලට විකිණීමේ ජාවාරම මෙරට තුල ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අනුග්රහයද වක්‍රාකාරයෙන් ලැබුණු අහස පොළොව නූහුලන මහා අපරාධයක් ලෙසය. ඒ වටා රොක්ව සිටි ධනවතුන් සහ බලවතුන්ගේ අනුභාවය කොතරම්ද යත් හඬක් නැගිය නොහැකි මෙම අසරණ සතුන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවට බලධාරීන් සිදුකළේ ජාවාරම නීතිගත කිරීමට ආණ්ඩුවෙන් ගැසට් නිවේදන පවා නිකුත් කිරීමය. එවැනි පසුබිමක් තුළ මෙම නඩු තීන්දුව ඓතිහාසික එකක් බව සැබෑය. නමුත් මෙම ජාවාරම පිළිබඳව කලක සිට අවධියෙන් සිටි සහ හඬ නැගූ අපට මෙහිදී යුක්තිය පසිඳලීම සඳහා අධිකරණයට සහාය ලබාදෙන රජයේ ආයතන වල ක්‍රියාකලාපය පිළිබඳව නම් ඇති වන්නේ බරපතල කුකුසකි.
නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණේ අලි පැටවුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් වුවද අලි රොෂාන් වරදකරු බවට පත්ව තිබුණේ එක අලි පැටවකු සම්බන්ධයෙන් පමණි. ඔහුට සිර දඬුවම් හිමිවන විට තවත් පිරිසක් නිදොස්කොට නිදහස් විය. මෙම නීති කෘත්‍යයට අදාලව අලි පැටවුන්ගේ වයස අධිකරණය හමුවේ නිවැරදිව සනාථ කිරීමට පවා අපගේ බදු මුදලින් වේතන ලබන විමර්ශන නිලධාරීන් අපොහොසත්ව තිබීම පිළිබඳව ඇති වන්නේ බරපතල සැකයකි.
දූෂණය, අකාර්යක්ෂම නීති, දුර්වල අධිකරණ පද්ධති, වනජීවී නීතිය බලාත්මක නොවීම සහ සැහැල්ලු දඬුවම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට වනජීවී සම්පත් කොල්ලකෑමට පහසුවී ඇති බව ලොව පුරා සිදුකර ඇති අධ්‍යන වලින් පැහැදිළිවේ. මෙම සාධක නීති විරෝධී වනජීවී වෙළඳාම ඉහළ ප්රතිලාභ සහිත අඩු අවදානම් ව්‍යාපාරයක් බවට පත්වීමට හේතුවී තිබේ. නීතිවිරෝධී වනජීවී ජාවාරම් පිටුපස සිටින මහ මොළකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ එම ජාලයේ සිටින පහළ පුරුක් වලට පමණක් නීතිය ක්‍රියාත්මක වීමය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට අඩු වැඩි වශයෙන් සමාන විය හැකි බව අප විසින් පෙන්වා දුන්නේ 2020 වසරේ දී ය. ඒ මෙම ජාවාරම පිළිබඳව සිදුකළ ප්‍රථම විද්‍යාත්මක අධ්‍යනයේ ප්‍රතිපල සහිත පර්යේෂණ පත්‍රිකාව දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමකගේ දායකත්වයෙන් ලොව ප්‍රකට විද්‍යා සඟරාවක පළකරමිනි.
පරිසර හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය, පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ අනෙකුත් පෙත්සම්කරුවන් විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් 2024 මැයි 31 දින ශ්‍රී ලංකාවේ නීති විරෝධී අලි ජාවාරමට එරෙහිව ලබා දුන් සුවිශේෂී තීන්දුවේ ද එම පර්යේෂණ පත්‍රිකාව උපුටා දක්වා ඇත.
අලි රොෂාන් සිපිරිගෙට නියම වන්නේ අප ඉහත මතුකළ කරුණු පිළිබඳව නැවතත් සිතා බලන්නට අපට බල කරවමිනි. මෙරට ගරු අධිකරණයේ ක්‍රියාකලාපය පිළිබඳව අපට කිසිඳු සැකයක් නැත. නමුත් යුක්තික පසිඳලීමට සහයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වැනි මහජන බදු මුදලින් වැටුප් ලබන ආයතන අම්මාවරුන් මරා වනයෙන් පැහැරගෙන ආ බවට වාර්තාවන මෙම අලි පැටවුන්ට යුක්තික ඉටුකර දීමට කොතරම් සමත්ද? මෙම නඩුවේ තීරණාත්මක සාධකයක් වූයේ අලි ඇතුන්ගේ සැබෑ වයස සහ බලපත්‍රයේ සඳහන් වයස අතර ඇති පරස්පරය ගරු අධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කිරීමය. ඒ සඳහා මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක පළපුරුද්ද ඇති පශුවෛද්‍යවරුන් යොදා ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළේ නැද්ද යන්න බරපතල ගැටළුවකි. ඒ වෙනුවට එකී වයස් පිළිබඳව සනාථ කිරීමට පැමිණිල්ලේ සාක්ෂි ලෙස කැඳවනු ලැබූ සාක්ෂිකරුවන් අසමත් වී ඇති බව විනිසුරුවරුන් විසින් විවෘත අධිකරණය හමුවේ කියා සිටියෝය. එළුවන්ගේ වයස පිළිබඳ සාක්ෂි දීමට එම විශේෂඥභාවය ප්‍රමාණවත් වුවත් ප්‍රශ්න ගත අලි ඇතුන්ගේ වයස් පිළිබඳව සනාථ කිරීමට ඔවුන්ගේ විශේෂඥභාවය ප්‍රමාණවත් නොවන බව එහිදී වැඩි දුරටත් සඳහන් විය. මෙවැන්නක් සිදු වූයේ කගේ උවමනාවටද?
ආසියානු අලි ඇතුන්ගේ උස අනුව වයස නිර්ණය කිරීම සම්බන්ධයෙන් අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස විසින් 2022 වසරේ පළකර ඇති දැනට ලොවම පිළිගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය පවා භාවිතා කල හැකිව තිබුණි. ඒ කිසිවක් ගැන තැකීමක් නොකළ මෙතරම් දුර්වල විමර්ශකයින් පිරිසකට අලි පැටවුන් ජාවාරම වැනි ඉතා සූක්ෂ්ම හා සංවිධානාත්මක වනජීවී ජාවාරමක් සමග ගැටිය හැකිද යන උභතෝකෝටිකය මේ මොහොතේ අප ඉදිරිපට ඇත. මීට වඩා බරපතල අපරාධ පවා විමර්ශනයකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා අලි පැටවුන් ජාවාරම සම්බන්ධයෙන් මෙසේ මන්දෝත්සාහීව ඇත්තේ මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නටද යන සැකය මතුවන්නේ එබැවිනි.
තවද අප ඉහත කී විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවේ දක්වා ඇති නිර්දේශ පිළිබඳවද දැන්වත් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවනවා නම් මැනවි. මෙම ජාවාරම වැලැක්වීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරී හා මට ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කළයුතුය. සැකකරුවන්ගේ සමාජ තත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතුය. ජාවාරම්වලට සහාය වීම ඇතුළුව ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම නීතිමය සහ / හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. අනාගතයේදී මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින අයට අවවාද කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවද අපගේ අදහසයි. උඩවලව ඇත් අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට එම ආයතන භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමට තරම් සුදුසු දැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලබා දීමටද අප යෝජනා කරමු.
තවද ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා ඊට අදාළ අනපනත් සංශෝධන කඩිනමින් බලාත්මක කරන ලෙසද අප නිර්දේශ කරමු. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිතා කිරීම සීමා කිරීමට මෙමගින් කටයුතු කල යුතුය. 2016 දී පැවැත්වුණු වඳවීයැමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) දාහත්වන සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කල අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතී. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කල අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මගින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කල අලි ගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කල අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකිවෙතැයි අප අපේක්ෂා කරමු. ඒ වෙනුවෙන් මෙම සටන තවත් බොහෝ දුර ගෙන යා යුතුව ඇති බව අවසන් වශයෙන් ලියා තබමි.
සුපුන් ළහිරු ප්‍රකාශ්
ඡායාරූපය: නදීක හපුආරච්චි
ඡායාරූපය: ආර්. එම්. ජේ. බණ්ඩාර