T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.එමෙන්ම ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අවසන් තීරණය ගෙන නොමැති වුවත්, ඒ සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ තෝරාගෙන තිබේ.

විස්සයි20 ලෝක කුසලානය පෙබරවාරි 7 වනදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් මහා තරගය මාර්තු 8 වනදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනය හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර ඇති කරගත් එකඟතාව අනුව, ඔවුන්ගේ රටක් සත්කාරකත්වය දරන අවස්ථාවකදී මධ්‍යස්ථ ස්ථානයකදී ක්‍රීඩාකරනු ලබයි.

ඒ හේතුවෙන් පාකිස්තානය ඔවුන්ගේ සියලුම තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන අතර, ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමගින් ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකාව, බ.ඉ. කොදෙව්, නවසීලන්තය, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නේපාලය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නැමීබියාව හා සිම්බාබ්වේ මේ සඳහා සුදුසුකම් ලබා ඇත.

කාලීන පුවත්