දිත්වා ගැන අපට දැනගන්නට ලැබුණේ පමා වෙලාද?


පසුගිය දා ශ්‍රී ලංකාවට මහත් ව්‍යසනයක් ගෙන දුන් ‘දිත්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව මතභේදයට තුඩු දී ඇත. මේ සුළි කුණාටුව පිළිබඳ මුල්ම වාර්තා නොවැම්බර් මස 12 වනදා සිට ලැබුණු බවට විපක්ෂයේ ඇතැම් පිරිස් චෝදනා කර තිබූ බැවින්, සිය කතාව සිදු කළ අමාත්‍යවරයා එම කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 12 වනදා සිට නිකුත් කරන ලද නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඔහු එහිදී අවධාරණය කළේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නොවැම්බර් මාසයේ නිවේදනවල සුළි කුණාටුවක් පිළිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් හෝ මෙතරම් අධික වර්ෂාපතනයක් ලැබෙන බවට පුරෝකථන හෝ නොතිබුණු බවය. නොවැම්බර් 27 වන විටත් මිලිමීටර් 200 – 300 වර්ෂාපතනයක් ලැබෙන බවට නිවේදන නොතිබූ බවත්, අඩු පීඩන තත්ත්වයන් ඇති විය හැකි බව පමණක් නිවේදන ලැබුණු බවත් ඔහු දන්වා සිටියේය. ‘දිත්වා’ යන නම පවා දැනගත්තේ නොවැම්බර් 27 වනදා රාත්‍රි කාලයේදී බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කතාවෙන් පැහැදිලි වන කරුණක් වන්නේ, රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අමාත්‍යවරයා, වර්ධනය වෙමින් පැවති මේ කාලගුණික තත්ත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් නොසිටි බවයි. සුළි කුණාටුවට ‘දිත්වා’ යන නම පසුව ලැබුණද, පසුගිය කාලය මුළුල්ලේම විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් අවසානයේ සුළි කුණාටුවක් බවට පත් වූයේ එම කාලගුණික විපර්යාසයම බව ඔහුට වැටහීමක් නොමැති බව පෙනී යයි. මාධ්‍ය ප්‍රකාශකවරයකු ලෙස මෙය එතරම් යහපත් තත්ත්වයක් නොවේ. ඉහත ප්‍රකාශනය මඟින්, ‘දිත්වා’ සුළි කුණාටුව පිළිබඳ රජය දැනගත්තේ එහි වර්ධනයේ අවසාන මොහොතේදී බවට අදහසක් ලබා දීමට උත්සාහ දරා ඇත. කෙසේ වෙතත්, සුළි කුණාටු වැනි දරුණු කාලගුණික තත්ත්වයන් එකවර ඇති වන සංසිද්ධි නොවන බවත්, ඒවා කාලගුණ විද්‍යාත්මකව අදියර ගණනාවක් ඔස්සේ ක්‍රමානුකූලව වර්ධනය වන බවත් අවධාරණය කළ යුතුය.

සුළි කුණාටුවක් (Cyclonic Storm) යනු ක්ෂණිකව ඇතිවන තත්ත්වයක් නොව, වායුගෝලීය කැළඹිලි (Disturbance), අඩු පීඩන කලාපය (Low-Pressure Area), පීඩන අවපාතය (Depression) සහ ගැඹුරු පීඩන අවපාතය (Deep Depression) යන අදියරයන් ක්‍රමානුකූලව පසු කරමින් වර්ධනය වන සංකීර්ණ ක්‍රියාවලියකි. ඉහත ප්‍රකාශනයේ සඳහන් වන පරිදි, නොවැම්බර් මාසයේ මැද භාගයේ සිට කෙමෙන් වර්ධනය වී, පසුව නොවැම්බර් 25 වන දින උදෑසන 10 ට වාර්තා වූ කැළඹිලි සහිත අඩු පීඩන තත්ත්වය, නොවැම්බර් 27 වන දින රාත්‍රී 8 වන විට ‘දිත්වා’ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇත්තේ මෙම ක්‍රමානුකූල අදියර පසු කරමිනි.

සුළි කුණාටුවක් (Cyclonic Storm) යනු ක්ෂණිකව ඇතිවන තත්ත්වයක් නොව, වායුගෝලීය කැළඹිලි (Disturbance), අඩු පීඩන කලාපය (Low-Pressure Area), පීඩන අවපාතය (Depression) සහ ගැඹුරු පීඩන අවපාතය (Deep Depression) යන අදියරයන් ක්‍රමානුකූලව පසු කරමින් වර්ධනය වන සංකීර්ණ ක්‍රියාවලියකි. ඉහත ප්‍රකාශනයේ සඳහන් වන පරිදි, නොවැම්බර් මාසයේ මැද භාගයේ සිට කෙමෙන් වර්ධනය වී, පසුව නොවැම්බර් 25 වන දින උදෑසන 10 ට වාර්තා වූ කැළඹිලි සහිත අඩු පීඩන තත්ත්වය, නොවැම්බර් 27 වන දින රාත්‍රී 8 වන විට ‘දිත්වා’ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇත්තේ මෙම ක්‍රමානුකූල අදියර පසු කරමිනි. සුළි කුණාටුවක් ඇතිවීමට අවශ්‍ය වන සුළඟ, වර්ෂාව, අඩු පීඩන තත්ත්ව සහ වායුගෝලීය කැළඹිලි වැනි සියලු සාධක පැවතියද, එම අවස්ථාවේදී එයට සුළි කුණාටු නාමයක් ලබා නොදේ. එය නිදසුනකින් මෙසේ ඉදිරිපත් කළ හැකිය: පොල්, පාන් පිටි, සහ ලුණු වැනි අමුද්‍රව්‍ය එක ළඟ තිබුණද, ඒවාට නිශ්චිත නමක් යොදන්නේ නැත. නමුත් ඒවා එක් කොට රොටියක් සෑදූ පසුව එයට ‘රොටිය’ යන නම යොදනවා සේම, කාලගුණික පද්ධතියක් සම්පූර්ණ සුළි කුණාටු තත්ත්වයට පත් වූ පසුව පමණක් එයට නිල නාමයක් ලබා දේ. නිශ්චිතවම පැයට කිලෝමීටර 63කට වඩා වේගයෙන් සුළං හමන විට, එම කාලගුණික පද්ධතිය සුළි කුණාටුවක් ලෙස නම් කිරීමට සුදුසුකම් ලබයි. මේ අනුව, ‘දිත්වා’ යන නම අවසන් මොහොතේ ලැබීම, රජය අවසන් මොහොතේ දැනගැනීමක් ලෙස අර්ථ දැක්වීම කාලගුණ විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව නොදැනුවත්කම හුවා දක්වයි.

මෙම සුළි කුණාටුව කාලගුණික වශයෙන් වැදගත් වනවා සේම, එහි නාමය ලැබුණු ආකාරය පිළිබඳ කතාවද භූගෝලීය හා සංස්කෘතික පසුබිමක් නිරූපණය කරයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) ප්‍රමිතීන්ට අනුව, උතුරු ඉන්දියානු සාගර ද්‍රෝණියේ ඇතිවන සුළි කුණාටු නම් කිරීමේ වගකීම භාරගත් සාමාජික රටවල් 13 අතරින්, ‘දිත්වා’ යන නාමය යෝජනා කරන ලද්දේ යේමනය (Yemen) විසිනි. මෙම නාමය යේමනයේ ඇති සුවිශේෂී ස්වාභාවික ස්ථානයක් වන සෝකොත්‍රා (Socotra) දූපතේ පිහිටි ‘දිත්වා කලපුව’ (Detwah Lagoon) සිහිපත් කරයි. දිත්වා කලපුව යනු යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන සෝකොත්‍රා හි පිහිටි සුන්දර භූමි ප්‍රදේශයකි. එබැවින්, මෙම නම යෝජනා කිරීම තුළින් කාලගුණික සංසිද්ධියක් සමඟ කලාපීය භූගෝලීය අනන්‍යතාවක් සම්බන්ධ වී ඇති බව පැහැදිලිය. මෙම සුළි කුණාටුව නම් කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ක්‍රමානුකූලවය. උතුරු ඉන්දියානු සාගර කලාපයේ (බෙංගාල බොක්ක සහ අරාබි මුහුද) ඇතිවන සුළි කුණාටු සඳහා කලින්ම පිළියෙල කරන ලද නම් ලැයිස්තුවක් භාවිත කෙරේ. මෙහිදී, සුළි කුණාටුවක් නිල වශයෙන් සුළි කුණාටු තත්ත්වයට (cyclonic storm) පත් වූ පසු ඊළඟට ලැයිස්තුවේ ඇති නාමය එයට ලබා දේ. ‘දිත්වා’ යනු එම ක්‍රමානුකූල ලැයිස්තුවේ තිබූ නාමයකි. මෙමඟින්, ලොව පුරා කාලගුණ විද්‍යාඥයින්, මාධ්‍ය සහ මහජනතාව අතර සුළි කුණාටු පිළිබඳ සන්නිවේදනය පහසු කිරීම මෙන්ම ව්‍යාකූලත්වය වළක්වා ගැනීමද අපේක්ෂා කෙරේ.

සුළි කුණාටුවලට නම් ලබාදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ද හිමි වෙයි. 2020 වසරේදී ප්‍රකාශයට පත් කළ නව නම් ලැයිස්තුවේ (නම් 169 ක් ඇතුළත්) ශ්‍රී ලංකාවෙන් යෝජනා වී ඇති නම් අතර ශක්ති (Shakhti), ගිගුම් (Gigum), ගගන (Gagana), වෙරම්බා (Verambha), ගර්ජනා (Garjana), නීබා (Neeba), සහ නින්නාද (Ninnada) යන නම් තිබේ. මේවා අනාගතයේදී සුළි කුණාටු නම් කිරීම සඳහා යොදා ගනු ඇත. සුළි කුණාටු නම් කිරීමේදී, දේශපාලනික, ආගමික හෝ ලිංගික වෙනස්කම්වලින් තොර, පහසුවෙන් උච්චාරණය කළ හැකි සහ අක්ෂර 8කට වඩා අඩු නම් පමණක් යෝජනා කළ යුතු බවට නියමයක් තිබේ.

සුළි කුණාටු නම් කිරීමේ දී එක් අවස්ථාවක දී ශ්‍රී ලංකාවෙන් “මහසෙන්” යන නාමය යෝජනා වූ නමුත් පසුව විරෝධතා හේතුවෙන් ඉවත් කරගන්නා ලදී. මෙය ශ්‍රී ලංකාවේ සුළි කුණාටු නම් කිරීමේ ඉතිහාසයේ ඉතාම මතභේදයට තුඩු දුන් අවස්ථාවකි. සිදුවීම පිළිබඳ විස්තරය මෙසේය: මහසෙන් යන නාමය 2003 වසරේදී පමණ සුළි කුණාටු නම් කිරීමේ මණ්ඩලයට (ESCAP/WMO Panel on Tropical Cyclones) ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද නම් 23ක මුල් ලැයිස්තුවේ ඇතුළත් විය. මෙම නම් ඉදිරිපත් කරන ලද්දේ ඒවායේ අර්ථය හෝ පසුබිම පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමකින් තොරව බව පසුකලෙක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2013 මැයි මාසයේදී බෙංගාල බොක්කේ ඇති වූ නිවර්තන කුණාටුවක් සඳහා නීතිරීති අනුව ඊළඟට යෙදිය යුතු නම වූයේ ‘මහසෙන්’ යන්නයි. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) මූලස්ථානය මඟින් එම කුණාටුව ‘මහසෙන්’ සුළි කුණාටුව ලෙස නම් කරන ලදී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මහසෙන් රජු (ක්‍රි.ව. 275-301) යනු රටට සශ්‍රීකත්වය හා සමෘද්ධිය ගෙන දුන්, මින්නේරිය වැව ඇතුළු විශාල වාරිමාර්ග පද්ධති තැනූ ශ්‍රේෂ්ඨ පාලකයෙකි. ඔහු ‘මින්නේරි දෙවියන්’ ලෙස ද සලකනු ලැබේ. මෙවන් ව්‍යසනකාරී ස්වාභාවික බලවේගයකට එම ශ්‍රේෂ්ඨ රජුගේ නම යෙදීම ‘ජාතික ඉතිහාසයට කරන ලද අපහාසයක්’ ලෙස සලකමින් ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන, ආගමික සහ සිවිල් සංවිධාන දැඩි විරෝධතා එල්ල කළේය. මෙම විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම කුණාටුව සඳහා ‘මහසෙන්’ නම භාවිත නොකිරීමට තීරණය කළ අතර, අනෙකුත් ජාත්‍යන්තර ආයතනවලින්ද එසේ කරන ලෙස ඉල්ලා සිටියේය. අවසානයේදී, ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) ඔවුන්ගේ අවසාන වාර්තාවල මෙම කුණාටුව සඳහා තායිලන්තය විසින් යෝජනා කරන ලද නාමයක් වන “වියරු” (Viyaru) යන නම භාවිත කළ අතර, ‘මහසෙන්’ යන නම ඔවුන්ගේ ලැයිස්තුවලින් ඉවත් කරන ලදී. මේ අනුව, ‘මහසෙන්’ යන නම ශ්‍රී ලංකාව විසින් යෝජනා කර තිබුණද, මතභේද හේතුවෙන් එය සාර්ථකව භාවිත වූයේ නැත. මෙම සිදුවීමෙන් පසු ශ්‍රී ලංකාව සුළි කුණාටු සඳහා යෝජනා කරන නාම තෝරා ගැනීමේදී දැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹුණි.

සුළි කුණාටුවක් වැනි මහත් ව්‍යසනයක් ඇති වූ විට, රජයේ මගින් සිදුකෙරෙන ප්‍රකාශවලට සහ මාධ්‍යයට පැවරෙන වගකීම අතිමහත්ය. ‘දිත්වා’ සුළි කුණාටුව වටා ඇති වූ මතභේදයෙන් මතු වන්නේ, කාලගුණ විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීමේ වැදගත්කමයි. අඩු පීඩන කලාපයක් අවසානයේ සුළි කුණාටුවක් බවට වර්ධනය වීම, මුළුමනින්ම ස්වාභාවික විද්‍යාත්මක අදියර මාලාවකි. ‘දිත්වා’ යන නිල නාමය අවසාන මොහොතේ ලැබීම, රජය එම අවසාන මොහොතේ පමණක් තත්ත්වය දැනගත් බවට අර්ථ දැක්වීමෙන් සිදුවන්නේ, මෙම සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලිය සරල කර, මහජනතාව තුළ ව්‍යාකූලතාවක් ඇති කිරීම පමණි. එබැවින් ස්වාභාවික විපත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සහ ප්‍රකාශ නිකුත් කිරීමේ දී වඩාත් දැනුවත්භාවයකින් පසුවිය යුතු බව අවධාරණය කළ යුතු වේ.

සුළි කුණාටුවක් වැනි මහත් ව්‍යසනයක් ඇති වූ විට, රජයේ මගින් සිදුකෙරෙන ප්‍රකාශවලට සහ මාධ්‍යයට පැවරෙන වගකීම අතිමහත්ය. ‘දිත්වා’ සුළි කුණාටුව වටා ඇති වූ මතභේදයෙන් මතු වන්නේ, කාලගුණ විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීමේ වැදගත්කමයි. අඩු පීඩන කලාපයක් අවසානයේ සුළි කුණාටුවක් බවට වර්ධනය වීම, මුළුමනින්ම ස්වාභාවික විද්‍යාත්මක අදියර මාලාවකි. ‘දිත්වා’ යන නිල නාමය අවසාන මොහොතේ ලැබීම, රජය එම අවසාන මොහොතේ පමණක් තත්ත්වය දැනගත් බවට අර්ථ දැක්වීමෙන් සිදුවන්නේ, මෙම සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලිය සරල කර, මහජනතාව තුළ ව්‍යාකූලතාවක් ඇති කිරීම පමණි. එබැවින් ස්වාභාවික විපත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සහ ප්‍රකාශ නිකුත් කිරීමේ දී වඩාත් දැනුවත්භාවයකින් පසුවිය යුතු බව අවධාරණය කළ යුතු වේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර