ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට දීමනා ලබාදීමේ දී කටයුතුවලට දේශපාලන අධිකාරියේ අනිසි බලපෑම් එල්ල වීම මත බාධා පැමිණෙන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ආරක්ෂක ලේකම්වරයාට ලිඛිත දැනුම් දීමක් කර තිබේ. එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ අදාල චක්‍රලේඛවලට යටත්ව නිවැරදි ක්‍රමවේදයන් යටතේ ගෙවීම් කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස දේශපාලන අධිකාරියේ අනිසි බලපෑම් එල්ල වන බවකි.ඒ අනුව මේ වන විට ආපදා හේතුවෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීමට සහ නායයෑම අධි අවදානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීමේ දී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බැවින් මේ සඳහා විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය හා රජයේ ගණකාධිකාරි සේවා සංගමය ආරක්ෂක ලේකම්වරයාට ලිඛිත ඉල්ලීම් කර ඇත.ආරක්ෂක ලේකම්වරයා වෙත යවන ලද එම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට, විගණකාධිපතිවරයාට හා සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කළ බව ද එම සංගම්වල නියෝජිත පිරිසක් පැවසූහ.