දිත්වා සුළි කුණාටුවෙන් ඉහළ ගිය අපේ රටේ දුප්පත්කමට මොකද කරන්නේ?


පසුගිය වසරේ අගභාගයේ ශ්‍රී ලංකාවට මහත් ව්‍යසනයක් ගෙන දුන් දිත්වා සුළි කුණාටුව හුදෙක් ස්වාභාවික විපතක් පමණක් නොවේ. එය දහස් සංඛ්‍යාත ජනතාවකගේ ආර්ථික ජීවිතය නිහඬවම වෙනස් කළ ඛේදනීය බලපෑමකි. ඉන් මුළුමහත් ගම්මාන පිටින් නිවාස හා දේපළ විනාශයට පත් විය. වගා බිම් බොහොමයක් පාළු වූ අතර, කුඩා පරිමාණ ව්‍යාපාර ද මුළුමනින්ම නැති වී ගියේය. මෙම තත්ත්වය හමුවේ බොහෝ පවුල්වලට තම එකම ආදායම් මාර්ගය අහිමි විය.

එම පවුල් බොහොමයක් මෙම විපතට පෙර ධනවත් මට්ටමක පසු වූවෝ නොවෙති. නමුත් ඔවුහු බොහෝ දෙනෙක් එදිනෙදා වියදම් පියවා ගනිමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් යම් ස්ථාවර මට්ටමක ජීවත් වූහ. දිත්වා කුණාටුවෙන් පසු එම ස්ථාවරභාවය බිඳී ගිය අතර, විශාල පිරිසක් එක රැයකින් අන්ත අසරණ වූහ. මින් පෙර දුප්පතුන් ලෙස හඳුනා නොගත් පිරිසක් මෙසේ අලුතින්ම දිළිඳු පන්තියට එක් වූහ.

වර්තමානයේ රට යථා තත්ත්වයට පත් වන බව ප්‍රකාශ වුවද, විපතට පත් වූවන්ගේ සැබෑ ජීවිතය තවමත් පවතින්නේ අවදානම් මට්ටමක ය. මෙවැනි විපත් නිසා ඇති වන දිළිඳුකම ඉක්මනින් පහව නොයන අතර, එයින් මිදීමට වසර ගණනාවක් ගත විය හැකි ය. මෙම තත්ත්වය නිවැරදිව වටහා ගැනීමට නම් ‘දරිද්‍රතා රේඛාව’ (Poverty Line) පිළිබඳ සංකල්පය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

දරිද්‍රතා රේඛාව යනු පුද්ගලයෙකුට හෝ පවුලකට තම මූලික අවශ්‍යතා සපුරා ගත හැකිදැයි මැන බලන නිර්ණායකයකි. සරලව පවසන්නේ නම්, මූලික වශයෙන් ජීවත් වීම සඳහා මසකට අවශ්‍ය වන අවම මුදල මෙයයි.මෙහිදී ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සඳහා වන වියදම් සැලකිල්ලට ගැනේ. යම් පවුලක මාසික ආදායම මෙම අගයට වඩා අඩු නම්, එම පවුල දුප්පත් පවුලක් ලෙස වර්ග කෙරේ. ‘දුක් + පත්’ යන පොදු නිර්වචනය සමඟ ද මෙය කදිමට සැසඳෙනු ඇත.

දරිද්‍රතා රේඛාව යනු පුද්ගලයෙකුට හෝ පවුලකට තම මූලික අවශ්‍යතා සපුරා ගත හැකිදැයි මැන බලන නිර්ණායකයකි. සරලව පවසන්නේ නම්, මූලික වශයෙන් ජීවත් වීම සඳහා මසකට අවශ්‍ය වන අවම මුදල මෙයයි.

මෙහිදී ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සඳහා වන වියදම් සැලකිල්ලට ගැනේ. යම් පවුලක මාසික ආදායම මෙම අගයට වඩා අඩු නම්, එම පවුල දුප්පත් පවුලක් ලෙස වර්ග කෙරේ. ‘දුක් + පත්’ යන පොදු නිර්වචනය සමඟ ද මෙය කදිමට සැසඳෙනු ඇත.

දරිද්‍රතා රේඛාවට මඳක් ඉහළින් සිටීම යනු සැපවත් ජීවිතයක් ගත කිරීම නොවේ. එයින් අදහස් වන්නේ ජීවිතය ගැටගසා ගැනීමට අසීරුවෙන් උත්සාහ කරන තත්ත්වයකි. අප ජන සමාජයේ “යාන්තමින් පණ ගැටගහ ගන්නවා” යනුවෙන් හැඳින්වෙනුයේ මෙම තත්ත්වයයි. දිත්වා වැනි විපත්වලින් පසු හදිසියේ අසරණ වූ පිරිස් හඳුනා ගැනීමට මෙම සීමාව ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව ගණනය කරනු ලබන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගිනි. ඔවුන් මෙම ගණනය කිරීම සිදු කරන්නේ පවුල්වල සැබෑ පරිභෝජන රටාවන් පදනම් කරගනිමිනි.

මුලින්ම, නිරෝගීව ජීවත් වීමට පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය අවම පෝෂණ මට්ටම (කැලරි ප්‍රමාණය) තීරණය කරනු ලැබේ. ඉන්පසු වෙළෙඳපොළ මිල අනුව එම පෝෂණය ලබා ගැනීමට යන අවම පිරිවැය ගණනය කරයි.

දෙවනුව, ආහාර නොවන අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් මෙයට එකතු කෙරේ. නිවාස, විදුලිය, ජලය, ප්‍රවාහනය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි දෛනික අවශ්‍යතා මෙයට ඇතුළත් වේ. මෙම ආහාර සහ ආහාර නොවන වියදම්වල එකතුව ‘නිල දරිද්‍රතා රේඛාව’ ලෙස හැඳින්වේ.

මෙම අගය මුළු රටටම එක හා සමාන නොවේ. නගරයක ජීවන වියදම ග්‍රාමීය ප්‍රදේශයකට වඩා වැඩි බැවින්, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මෙම අගයන් වෙනස් වේ. එමෙන්ම බඩු මිල ඉහළ යාමට (උද්ධමනයට) සාපේක්ෂව මෙම සීමාව ද වරින් වර යාවත්කාලීන කරනු ලබයි.

නවතම දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ ජාතික දරිද්‍රතා රේඛාව එක් පුද්ගලයෙකුට මසකට රුපියල් 16,000ත් 17,000ත් අතර අගයක පවතී. නාගරික ප්‍රදේශවල මෙම අගය මීට වඩා වැඩි විය හැකිය.

පවුලක සාමාජිකයන් සංඛ්‍යාව අනුව මෙම ප්‍රමාණය වැඩි වේ. නිදසුනක් ලෙස, සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලකට දිළිඳුකමේ සීමාවෙන් ඔබ්බට සිටීමට නම්, ඉහත සඳහන් කළ පුද්ගල අගය මෙන් කිහිප ගුණයක මාසික ආදායමක් තිබිය යුතු ය.

දිත්වා කුණාටුවෙන් පසු, මින් පෙර මෙම සීමාවට මදක් ඉහළින් සිටි පවුල් විශාල ප්‍රමාණයක් දිළිඳුකමට ඇද වැටී තිබේ. තවමත් සීමාවට ඉහළින් සිටින පවුල් පවා ඉතා අවදානම් තත්ත්වයක පසුවෙයි. ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී හෝ මිල ගණන් ඉහළ යාමකදී ඔවුන් ද දුප්පත්කමට පත් වීමේ වැඩි ඉඩකඩක් පවතී.

පවුලක මාසික ආදායම හෝ වියදම තම දිස්ත්‍රික්කයේ පවතින දරිද්‍රතා රේඛාව සමඟ සැසඳීමෙන් තම ආර්ථික තත්ත්වය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගත හැකි ය.

කෙසේ වෙතත්, දිළිඳුකම යනු හුදෙක් ඉලක්කම් පමණක් නොවේ. යමෙක් දරිද්‍රතා රේඛාවට වඩා මඳක් ඉහළින් සිටියත්, අත්‍යවශ්‍ය සෞඛ්‍ය හෝ අධ්‍යාපන වියදම් දරා ගැනීමට ඔහුට අපහසු විය හැකි ය. විශේෂයෙන්ම දිත්වා වැනි විපත් නිසා දේපළ අහිමි වූ සහ ණය බරින් පීඩා විඳින පවුල්වලට මෙම තත්ත්වය තදින්ම බලපායි. එබැවින් දරිද්‍රතා රේඛාව යනු අවසාන තීන්දුවක් නොව, පවතින ආර්ථික අවදානම පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතුය.

දිත්වා කුණාටුවේ එක් දරුණු ප්‍රතිඵලයක් වන්නේ ‘සැඟවුණු දිළිඳුකමයි’. සමහර පවුල්වලට තවමත් නිවාස හෝ මූලික දේපළ තිබිය හැකි ය. නමුත් ඔවුන්ගේ ආදායම් මාර්ග මුළුමනින්ම බිඳ වැටී තිබේ.

අස්වැන්න අහිමි වූ ගොවියන්, ප්‍රාග්ධනය අහිමි වූ වෙළෙන්දන්, මුළුමනින්ම නිවාස අහිමි වූ පවුල්, රැකියා අහිමි වූ පුද්ගලයින් පිටතින් බලන විට සාමාන්‍ය පුද්ගලයන් සේ පෙනෙන්නට පුළුවන. නමුත් ඔවුහු දිනපතාම ආහාර වේල සපයා ගැනීමට දැඩි අරගලයක යෙදෙති. “අපි කන හැටි ලිපා දනී” යන පිරුළෙන් පැවසෙනුයේ මෙවැන්නකි. නිල සංඛ්‍යාලේඛනවලට මොවුන් හසු නොවන නිසා මොවුන්ට හිමි විය යුතු සහන මගහැරී යා හැකි ය.

මෙම අභියෝගය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූවක් නොවේ. දකුණු ආසියාවේ බොහෝ රටවල මේ තත්ත්වය දැකිය හැකි ය. ඉන්දියාව නිදසුනකට ගතහොත් එහි දරිද්‍රතා රේඛාව මනින්නේ දෛනික වියදම පදනම් කරගනිමිනි. රටක් වශයෙන් ඉන්දියාවේ ආර්ථිකය දියුණු වුවත්, මිලියන ගණනක් ජනයා තවමත් මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව ජීවත් වෙති. නේපාලයේ තත්ත්වය ද වෙනසක් නැත. කර්මාන්ත හිඟකම සහ භූගෝලීය බාධා නිසා එහි දිළිඳුකම ව්‍යාප්ත වී ඇත. ඔවුන්ගේ මූල්‍ය අගයන් ශ්‍රී ලංකාවට වඩා අඩු වුවත්, මිනිසුන්ගේ දෛනික ජීවන අරගලය ඉතා දැඩි ය. බංග්ලාදේශය සහ පකිස්ථානය යන රටවල් ගතහොත්, මෙම රටවල් ද අවම පෝෂණය සහ මූලික වියදම් පදනම් කරගනිමින් දිළිඳුකම මනිනු ලබයි. දකුණු ආසියාව පුරාම විශාල ජනගහනයක් දිළිඳුකමේ අවදානම් සීමාව ආසන්නයේ ජීවත් වෙති.

නිල සංඛ්‍යාලේඛන යාවත්කාලීන කිරීමට සෑහෙන කාලයක් ගත වේ. දිත්වා වැනි විපත් නිසා මිනිසුන් ක්ෂණිකව අසරණ වුවත්, රජයේ දත්තවල එය සටහන් වීමට මාස ගණනාවක් ගත විය හැකිය. මෙම කාලය තුළ මිනිසුන් නිහඬව පීඩා විඳිති. එබැවින්, සංඛ්‍යාලේඛනවලට වඩා මහපොළොවේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

නිල සංඛ්‍යාලේඛන යාවත්කාලීන කිරීමට සෑහෙන කාලයක් ගත වේ. දිත්වා වැනි විපත් නිසා මිනිසුන් ක්ෂණිකව අසරණ වුවත්, රජයේ දත්තවල එය සටහන් වීමට මාස ගණනාවක් ගත විය හැකිය. මෙම කාලය තුළ මිනිසුන් නිහඬව පීඩා විඳිති. එබැවින්, සංඛ්‍යාලේඛනවලට වඩා මහපොළොවේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

බලධාරීන් රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වී ඇති බව ප්‍රකාශ කිරීමෙන් පමණක්, ආහාර වේල පවා සපයා ගැනීමට නොහැකි පවුල්වලට සහනයක් නොලැබේ. අපට අවශ්‍ය වන්නේ දිත්වා වැනි විපත් නිසා සිදු වූ ආර්ථික හානිය අවංකව පිළිගන්නා වැඩපිළිවෙළකි. දිළිඳුකමෙන් මිදීමට කාලය, ක්‍රමවත් ආධාර, රැකියා මාර්ග නැවත ස්ථාපිත කිරීම සහ නිවැරදි දත්ත අවශ්‍ය වේ. වඩාත්ම වැදගත් වන්නේ, දුෂ්කරතාවයට පත්ව සිටින ජනතාව පිළිබඳ ජාතික මට්ටමේ අවංක සංවාදයක් ඇති වීමයි.

දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිළිබඳ චිත්‍රය වෙනස් කර ඇත. දුප්පත්කම යනු හුදෙක් ඉලක්කම් සමූහයක් නොව, එය මිනිසුන් විඳින සැබෑ අත්දැකීමකි. මෙම යථාර්ථය වටහා ගැනීම, විපතට පත් ජනතාව උදෙසා තිරසාර ක්‍රියාමාර්ග ගැනීම මුල් කොට ඔවුනට සහනයක් වීමටත්, ඔවුන්ගේ ගෞරවය සුරැකීමටත් තබන පළමු පියවරයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

 

එතෙර - මෙතෙර