
මිනිසා සහ සුනඛයා අතර පවත්නා මිත්‍රත්වය අද ඊයේක ආරම්භ වූවක් නොවේ. මානව විද්‍යාඥයින්ගේ පර්යේෂණ පෙන්වා දෙන්නේ මෙම සබඳතාව වසර 15,000කට වඩා ඈත අතීතයකට දිවයන්නක් බවයි. ජර්මනියේ බොන්-ඔබෙර්කස්සෙල් (Bonn-Oberkassel) ප්‍රදේශයෙන් සොයාගන්නා ලද වසර 14,200ක් පැරණි සුනඛ පැටියෙකුගේ සොහොන මඟින් තහවුරු වී ඇත්තේ එදවස පටන්ම මිනිසා සුනඛයාව සැලකුවේ හුදෙක් ‘සතෙකු’ ලෙස නොව තමන්ගේම ‘පවුලේ සාමාජිකයෙකු’ ලෙස බවයි. වර්තමානය වන විට ලෝකය පුරා සුරතල් සුනඛ ගහනය මිලියන 900 ඉක්මවා තිබේ. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාව තුළ පමණක් මිලියන 60කට අධික පිරිසක් නිවෙස්වල සුනඛයින් ඇති දැඩි කරන අතර, වීදි සුනඛ ගහනය මිලියන 35 ඉක්මවයි. මෙවැනි වටපිටාවක, මිනිස්-සුනඛ බැඳීම පිළිබඳ සංවේදී පුවත් කෙරෙහි සමාජය තුළ පවතින්නේ ඉහළ ඉල්ලුමකි. පසුගියදා ඉන්දියාවේ ඉන්දෝර් නගරයෙන් වාර්තා වූ අතිශය සංවේදී පුවතක් එම ඉල්ලුමට සරිලන කදිම සහ මානුෂීය පිළිතුරක් සපයා තිබුණි.
මෙම වසරේ මැයි මාසයේ මුල් සතියේ ඉන්දෝර් හි ඔරියන්ටල් විශ්වවිද්‍යාලයේ (Oriental University) පැවැත්වුණු “කොලේජ් ෆෙස්ට්” සංගීත ප්‍රසංගය තාරුණ්‍යයේ උද්යෝගිමත් ජය ඝෝෂාවෙන් ඇළලී ගොස් තිබුණි. එදින වේදිකාව ආලෝකමත් කරමින් සිටියේ සුප්‍රසිද්ධ බොලිවුඩ් ගායන ශිල්පිනී අකාසා සිං (Akasa Singh) ය. ඇය සිය සුවිශේෂී, උද්යෝගිමත් කටහඬ සේම ඉහළ ශක්තියකින් යුත් වේදිකා ඉදිරිපත් කිරීම් හේතුවෙන් ඉන්දියානු පොප් සහ පසුබිම් ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින්නියකි. 2016 වසරේ තිරගත වූ ‘Sanam Teri Kasam’ චිත්‍රපටයේ “Kheech Meri Photo” ගීතය ගයමින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය, පසුව “Aithey Aa”, “Dil Na Jaaneya” එමෙන්ම “Naagin” වැනි ජනප්‍රිය ගීත මෙන්ම ‘Bigg Boss OTT’ සහ ‘Khatron Ke Khiladi 13’ වැනි රියැලිටි වැඩසටහන් හරහා ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තාය.
දිලිසෙන කළු පැහැති (Black Sequined) ඇඳුමකින් සැරසී අකාසා සිං “කොලේජ් ෆෙස්ට්” සංගීත ප්‍රසංග වේදිකාව මත ඉතා උද්යෝගයෙන් ගීත ගයමින් සිටි ඒ මොහොතේ, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අමුත්තෙක් වේදිකාවට ගොඩවැදුණි. ඒ, අතරමං වූ (Stray) තරමක සුනඛ පැටියෙකි. ප්‍රසංගයේ ඝෝෂාව නිසා බියෙන් වෙව්ලමින් සිටි මෙම පැටියා වේදිකාවේ කොනකට වී අසරණව සිටියේය. සාමාන්‍යයෙන් මෙවැනි සජීවී ප්‍රසංගයකදී ආරක්ෂක අංශ හෝ සංවිධායකයින් විසින් සත්වයා වේදිකාවෙන් පන්නා දැමීම සිරිත වුවද, අකාසා ක්‍රියා කළේ මුළු මහත් ප්‍රේක්ෂකාගාරයේම නෙතට කඳුළක් උනන අයුරිනි. ඇය සිය ගායනය නතර නොකරම, ඉතා ආදරයෙන් එම කුඩා බලු පැටියාව සිය දෝතට වඩා ගත්තාය. ඉන්පසු එක් අතකින් මයික්‍රෆෝනය ද, අනෙක් අතකින් සුරතල් බලු පැටියාව ද දරාගෙන ඇය සිය ප්‍රසංගය එලෙසින්ම ඉදිරියටම පවත්වාගෙන ගියාය. අතරමඟදී ඇය “මෙයාටත් සින්දුවක් අහන්න ඕනෙ වෙලා” යැයි සිනාසෙමින් පැවසූ බව එහි සිටි රසිකයෝ පවසති.
අකාසාගේ මෙම මානුෂීය ක්‍රියාවත් සමඟ මුළු ප්‍රේක්ෂකාගාරයම එකවරම අත්පොලසන් දෙමින් ඇයට ප්‍රණාමය පුද කරන්නට විය. “අකාසා! අකාසා!” යන හඬ මුළු ක්‍රීඩාංගනය පුරාම දෝංකාර දුන්නේය. ප්‍රසංගය නැරඹීමට පැමිණි රසිකයන් විසින් සිය ජංගම දුරකථනවල සටහන් කරගත් මෙම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ එය ලැව්ගින්නක් සේ පැතිර ගියේය. පැය 24ක් ඇතුළත #AkasaKindness, #StagePuppy සහ #Insaaniyat යන හැෂ්ටැග් ඉන්ස්ටග්‍රෑම් සහ X (ට්විටර්) හි ඉන්දියාවේ ප්‍රමුඛතම ප්රවණතා (Trending) බවට පත් වූ අතර, ටික්ටොක් හි මෙම වීඩියෝව මිලියන 18කට වඩා නැරඹුම් වාර වාර්තා කළේය. විශේෂයෙන්ම හින්දි බසින් ලියැවුණු, “මනුෂ්‍යත්වය සංගීත ස්වරයන් සමඟ මුසුවන විට හදවත් පවා අත්පොලසන් දීමට පටන් ගනී” යන උපශීර්ෂය සහිත වීඩියෝ පට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතර බෙදාහැර තිබුණි.
මෙම පුවත ජාත්‍යන්තර මට්ටමින් පවා අවධානයට ලක් වූ අතර, “හොඳ මිනිසෙකු වීම ගැන ඔබට ස්තුතියි”, “දෙවියන්ගේ පිහිටයි” වැනි ප්‍රතිචාර දහස් ගණනින් සටහන් විය. බොලිවුඩ් තරු වන ආයුෂ්මාන් කුරානා, භූමි පඩ්නෙකර් සහ ප්‍රකට ගායක අර්මාන් මලික් ද අකාසාගේ මෙම උදාර ක්‍රියාව අගයමින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබා තිබුණි.

මෙම සිදුවීම හුදෙක් රසවින්දනයට පමණක් සීමා නොවී, සමාජීය වශයෙන් වැදගත් සංවාදයක් දක්වා දියුණු වීමට ද මඟ පාදා තිබේ. ඉන්දියාවේ සත්ව සුබසාධන මණ්ඩලය (Animal Welfare Board of India) ඇස්තමේන්තු කරන පරිදි එරට වෙසෙන මිලියන 35ක් පමණ වීදි සුනඛයින් පිළිබඳ සමාජ කතිකාව තවදුරටත් පුළුල් වී තිබේ. 2023 දී ඉන්දියාවේ වීදි සුනඛ කළමනාකරණ රීතීන් සංශෝධනය වීමෙන් පසු වන්ධ්‍යාකරණය සහ එන්නත් කිරීමේ වැඩසටහන් පුළුල් වුවත්, වීදි සතුන් හදාගැනීමේ (Adoption) අනුපාතය තවමත් පවතින්නේ 2%කට වඩා අඩු මට්ටමක ය.

වීඩියෝව නැරඹූ බොහෝ දෙනා මෙම බලු පැටියාට සුදුසු ආරක්ෂිත නිවසක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, ඉන්දෝර් හි “Happy Tails Foundation” නම් සත්ව සුබසාධන සංවිධානය පසුව නිවේදනය කළේ, අකාසාගේ කළමනාකාරීත්වය ඔවුන් හා සම්බන්ධ වී පැටියාගේ වෛද්‍ය පරීක්ෂණ සහ ආරක්ෂිත නිවහනක් සොයා දීමට කටයුතු කළ බවයි. ඒ අනුව, එම බලු පැටියාට “ඉන්ඩී” (Indie) යන නම තබා ඇති අතර, ඌව දරුකමට ගැනීමට මුල් දින කිහිපය තුළ පමණක් ඉල්ලුම්පත්‍ර 400කට වඩා ලැබී තිබීම සැබවින්ම සතුටට කරුණකි.
සැබවින්ම, අකාසා සිං යනු මීට පෙරද සත්ව සුබසාධන කටයුතු වෙනුවෙන් කැපී පෙනෙන ලෙස හඬක් නැඟූ ශිල්පිනියකි. 2022 දී ඇය PETA India හි “Adopt, Don’t Shop” (සතුන් මුදලට ගැනීමෙන් වැළකී, අසරණ සතුන් දරුකමට හදාගන්න) වැඩසටහනේ තානාපතිනිය ලෙස කටයුතු කළාය. ඇයගේ නිවසේ ද ‘චිකෝ’ (Chiko) නම් දරුකමට ගත් සුනඛයෙකු ජීවත් වේ. එබැවින් මෙම ස්වයංසිද්ධ ක්‍රියාව, ඇය සතු දයානුකම්පිත කලාකාරිනියකගේ ප්‍රතිරූපය සමාජය තුළ තවදුරටත් තහවුරු කිරීමට සමත් විය.
සැලසුම් සහගත ප්‍රචාරණ උපක්‍රම (Planned PR Stunts) බහුල වර්තමාන ලෝකය තුළ, අකාසා වේදිකාව මත පෙන්වූයේ එවැන්නක් නොවේ. එවැනි ඉදිරිපත් වීමක් සඳහා සුනඛ පැටවකු කෙසේ වත් පුරුදු පුහුණු කළ නොහැක. එහෙත් සත්ව චර්යා විශේෂඥයින් පවසන්නේ, කලබලයට හා බියට පත්ව ඝෝෂාකාරී වේදිකාවකට ගොඩවන සතෙකු අතට ගැනීම අවදානම් සහගත විය හැකි බවයි. නමුත් අකාසාගේ සන්සුන් භාවය සහ සැබෑ සත්ව කරුණාව සත්ව චර්යා විශේෂඥයින්ට කෙසේ වෙතත් මෙම සුනඛ පැටියාට දැනුණු බව වීඩියෝවෙන් පැහැදිලි වේ; පැටියා ඇගේ උරහිසට හිස තබාගෙන සිටියේ තමන්ට ආරක්ෂාව ලැබුණු බව දැනී ඇති සෙයියාවකිනි.

ඇගේ රසිකයන් පවසන පරිදි, සමහර විට ඇය එදා ගැයූ ගීතවල පදවැල් මිනිසුන්ට කාලයත් සමඟ අමතක වී යා හැකිය. නමුත්, කලාවට වඩා මනුස්සකම උතුම් කොට සලකමින් ඇය එදා සමාජයට දුන් ආදර්ශය සදාකාලිකවම මිනිස් හදවත් තුළ රැඳෙනු නොඅනුමාන ය. එය අපි ද ඉත සිතින් අනුමත කරමු.
ඒ.ජී. රේණුකා දමයන්ති