නොදන්නා ලින්ක් හා වට්ස් ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න ඒපා – පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලිනික් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත්, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන ව්‍යාජ රඟපෑම්වලට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙයි.

මේ වනවිට කෙටි පණිවුඩ හා ඔන්ලයින් ඔස්සේ ක්‍රෙඩිට් කාඩ්පත් අත්හිටුවා ඇති බව සඳහන් පණිවුඩ එවමින් වංචාකාරී ලෙස මුදල් ලබාගන්නා ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ලැබී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය දන්වා සිටී.

කිසියම් සැකකටයුතු ක්‍රියාවක් හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත අත්හිටුවා ඇතිබව සඳහන් කරමින් හා ප්‍රසිද්ධ බැංකු කිහිපයක නම් සඳහන් කරමින් මෙම වංචාව සිදුවන බවත්, ක්‍රෙඩිට් කාඩ්පත නැවත සක්‍රීය කරගැනීමට නම් ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු පුද්ගලික තොරතුරු එම කෙටි පණිවුඩයේ සඳහන් ලින්ක් එක හරහා බැංකුවට ලබාදෙන ලෙසත්, එම පණිවිඩය හරහා දැනුම්දෙන බවත් සංසදය කියයි.

පැය 24ක් ඇතුළත එම තොරතුරු බෙදා නොහැරියහොත් කාඩ්පත අවලංගු වන බව හෝ කාඩ්පත්වලින් මුදල් ඉවත්විය හැකි බවට ද එම කෙටි පණිවුඩය හරහා දැනුම් දෙයි.

ක්‍රෙඩිට් කාඩ්පත යොදාගනිමින් ගනුදෙනු කරන පුද්ගලයන් මෙම පණිවිඩයට අනුකූලව කටයුතු කරමින් කාඩ්පත අවලංගු වීම වළක්වා ගැනීම සඳහා වහා ලින්ක් එකට ගොස් තමන්ගේ සංවේදී දත්ත ඇතුළත් කිරීම සිදුකර ඇත. ඉන්පසු වංචාකරුවන් ඉතා සූක්‍ෂමව බැංකු ගිණුමට පිවිස ඕ.ටී.පී. අංකයක් තොරතුරු ලබාදුන් පුද්ගලයාට යවා එම අංකය ලබාගෙන ඔවුන්ගේ ගිණුම්වල පැවති මුදල් පැහැරගෙන තිබේ.

තවත් පිරිසකට ඔවුන්ගේ ජංගම දුරකථනයට වට්ස් ඇප් ඔස්සේ වීඩියෝ ඇමතුමක් ලබාදෙන පොලිස් ඇඳුමෙන් සැරසුණු වංචාකරුවකු තමන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස හඳුන්වා දෙමින් රඟපෑමක යෙදෙන බවත් අනාවරණයවී ඇත. අපරාධකරුවකු පොලිසියේ අත්අඩංගුවේ පසුවන බවත්, එම පුද්ගලයා ඇමතුම ලැබෙන අයගේ නම සහ හැඳුනුම්පත යොදාගනිමින් ක්‍රෙඩිට් කාඩ්පත් බැංකු කිහිපයකින් ලබාගෙන රුපියල් මිලියන ගණනක වංචාකර ඇති බවත් සඳහන් කරන එම ව්‍යාජ පොලිස් නිලධාරිවරයා ඉන්පසු හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකද සඳහන් කරමින් ප්‍රශ්න කර බලපෑම් කරන බවත්, එම සියලු තොරතුරු තමන් මීට පෙර ලබාදුන් ඒවා බව ඒ වනවිට වංචාවට හසුවූ අයට සිහිපත්කර ගැනීමට ඉඩක් නොලැබෙන පරිදි මෙම ප්‍රශ්න කිරීම සිදුවන බවත් පැමිණිලිවල සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීමක් සිදුවන බවටද තර්ජනාත්මකව පැවසෙන නිසා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා මෙම වංචාවට ගොදුරු වූවන් ද සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

කාලීන පුවත්