ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතුන් වහන්සේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ලබන 05 වැනිදා උදෑසන 6.00 සිට මෙරට බැතිමතුන්ට වන්දනාමාන කිරීමට විවෘත වන බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, ලබන 11 වැනිදා උදෑසන 07 දක්වා බැතිමතුන්ට සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට හැකි බවයි.එම කාලසීමාව තුළ ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
පොලීසිය දැනුම් දෙන්නේ, පැමිණෙන සියලුම බැතිමතුන්ට කිසිදු අවහිරතාවකින් තොරව සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන ලෙසයි.
ඒ අනුව සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැය 24 පුරා ක්‍රියාත්මක බැවින්, පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක වැඩපිළිවෙළට පූර්ණ සහාය දෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
පොලීසිය පැවසුවේ දේශීය හා විදේශීය බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනය සඳහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතරම සොරුන් හා අපරාධකරුවන් ප්‍රදේශය ආශ්‍රීතව ගැවසිය හැකි බැවින් තම මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු පුද්ගලික දේපල සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.
ජංගම දුරකතන, ගමන් මළු, ජැකට් හා විද්‍යුත් උපකරණ යනාදිය සර්වඥ ධාතු ප්‍රදර්ශන කුටිය තුළට රැගෙන නොයන ලෙසත්, ආරක්ෂක අංශවලට සෝදිසි කිරීම් පරීක්ෂා කිරීම් සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් පොලීසිය දැනුම් දෙන අතර රථ වාහන ගමනා ගමනයේදී රථවාහන නීතියට ගරු කරමින් එයට අනුකුලව කටයුතු කරන ලෙසත් අවශ්‍ය වන අවස්ථාවකදි පොලිස් නිළධාරින්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් පොලීසිය බැතිමතුන්ට දැනුම් දෙයි.
පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ, රථවාහන, ගාල් කිරීමට නියමිත ස්ථානවල ගාල්වල පමණක් නවතා තබන ලෙසයි.
මේ අතර පැරණි M.O.D. රථගාල, Port City රථ ගාල සහ ෂැංග්‍රිලා හෝටලය අසල රථගාලේ සිට ගංගාරාම විහාරස්ථානය දක්වා බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කරයි.