මී උණ ලෙස හඳුන්වන Leptospirosis රෝගය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමය සඳහන් කළේ එමනිසා මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.
මීයන්ගේ මුත්රාවල පවතින Leptospira බැක්ටීරියාව මිනිස් ශරීරයට සමේ කුඩා සීරීම්, ඇස් හෝ ශ්ලේෂ්මල පටල හරහා ඇතුළුවීමෙන් මෙම රෝගය වැළඳෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාත් සඳහන් කරයි.
ඔහු කියා සිටියේ ගොවීන්, කුඹුරු හා මඩබිම් ආශ්‍රිතව සේවය කරන පිරිස්, කානු පද්ධති පිරිසිදු කරන කම්කරුවන්, ගොඩ වගාවල නියැලෙන පුද්ගලයන් මෙන්ම පුරන් වූ කුඹුරු හා වගුරුබිම් ආශ්‍රිතව ක්‍රීඩා කරන දරුවන්ද මී උණ වැළඳීමේ වැඩි අවදානමක් ඇති කණ්ඩායම් බවයි.