ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම මෙරට ප්රමුඛ පෙළේ ප්‍රවීණ ව්‍යාපාරිකයෙකු වූ උපාලි ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (ජූලි 25) පස්වරුවේ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට නවලෝක සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.මෙරට ප්‍රකට ව්‍යාපාරික දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස (නවලෝක මුදලාලි) මහතාගේ පුත්‍රයෙකු වන උපාලි ධර්මදාස මහතා, ප්‍රකට ව්‍යාපාරික ජයන්ත ධර්මදාස මහතාගේ සොහොයුරා ද වේ. නවලෝක සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා නවලෝක පිලිංස් (Nawaloka Piling), නවලෝක ටිම්බර් ස්ටෝර්ස් (Nawaloka Timber Stores), නවලෝක පොලිසැක්ස් (Nawaloka Polysacks), නවලෝක ඉන්ඩස්ට්‍රීස් (Nawaloka Industries), නිව් නවලෝක ට්‍රේඩින්ග් (New Nawaloka Trading) සහ නවලෝක ඩිවෙලොප්මන්ට්ස් (Nawaloka Developments) ඇතුළු ප්රමුඛ පෙළේ සමාගම් රැසක නායකත්වය හෙබවීය.ව්‍යාපාරික ක්ෂේත්රයට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙසත්, සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකාවේ මොරොක්කෝ රාජධානියේ ගෞරවනීය කොන්සල් ජනරාල්වරයා ලෙසත් ඒ මහතා ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකර ඇත.මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඒ මහතා, 1996 – 1998 කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCL) සභාපතිවරයා ලෙසත්, 2011 – 2012 සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙසත්, අවස්ථා කිහිපයකදීම අතුරු කමිටු සභාපතිවරයා ලෙසත් කටයුතු කළේය. විශේෂයෙන්ම 1996 – 1998 යුගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පිටුපස සිටි ප්රමුඛ පරිපාලකයෙකු වූ ඒ මහතා, එම සමයේ 80%කට වඩා වැඩි සාර්ථකත්වයක් අත්කර දීමට සමත් විය.තවද, බ්ලූම්ෆීල්ඩ් (Bloomfield) ක්‍රිකට් සමාජයේ උප සභාපතිවරයා ලෙසත්, බර්ගර් රීක්රියේෂන් ක්ලබ් (BRC) ක්‍රිකට් කණ්ඩායමේ දශකයකට අධික කාලයක අනුග්‍රාහකයා මෙන්ම වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ (MCA) අනුග්‍රාහකයා ලෙසත් කටයුතු කරමින් දේශීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විසල් මෙහෙවරක් ඉටු කළේය.මෙරට ව්‍යාපාරික සහ ක්‍රීඩා ක්ෂේත්රයන්හි සප්රමාණ දායකත්වයක් ලබාදුන් උපාලි ධර්මදාස මහතාගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් වන අතර, ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් දැනුම්දීමට නියමිතයි.