
1960–1980 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පාඨක සංඛ්‍යාව පුළුල් පරාසයක් තෙක් විහිදුවාලූ, ‘මාරක කතා චක්‍රවර්ති’ යන පොදුජන අභිධානයෙන් පිදුම් ලද ඩීමන් ආනන්ද නාමයට මෑතක සිට නව සමාජමය අගයක් එක්වනු පෙනෙයි. මෙම සැප්තැම්බර් 27 වැනි ඉරිදා ප.ව. 2.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ එළිමහන් පීඨිකාවේදී දොරට වැඩීමට නියමිත ජන විශ්වාස ගවේෂක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් ලියූ අලුත්ම ගවේෂණාත්මක ග්‍රන්ථය වන ‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ කෘතිය ද ඩීමන් ආනන්දයන්ගේ නමට පුද කොට ඇති අතර, ඔහු නියෝජනය කරමින් ඔහුගේ එකම දියණිය වන වරුණි ෂර්මිලා ආනන්ද වෙත එදින එම කෘතිය පිළිගැන්වීම ඊට එක් නිදසුනක් පමණි. මේ වරුණි ෂර්මිලා ආනන්ද සමඟ අප කළ කෙටි පිළිසඳරකි.
ප්රශ්නය: මාරක කතා චක්‍රවර්ති කියන නමින් මුළු රටම දැන හඳුනා ගත් ලේඛකයා කවුද?
පිළිතුර: මගේ තාත්තා, ඩීමන් ආනන්ද.
ප්රශ්නය: ඔබේ තාත්තා මාරක කතා චක්‍රවර්ති වුණේ කොහොමද?
පිළිතුර: ඒක තාත්තාගේ පොත් කියවපු මේ රටේ සාමාන්‍ය ජනතාව අතුරින් මතුවුණු හැඳින්වීමක් මිසක්, කවුරුවත් විශේෂයෙන් දීපු ‘නම්බු නාමයක්’ හරි ‘සම්මානයක්’ හරි නෙවෙයි.
ප්රශ්නය: ඔබ ගණනය කරපු විදිහට ඔබේ තාත්තා පොත් කොපමණ ලියා තිබෙනවාද?
පිළිතුර: එක එක අය එක එක ගණන් කියනවා. ඒත් පොදු පිළිගැනීමට අනුව තාත්තා අනිවාර්යයෙන් පොත් දාහකට වඩා ලියලා මුද්‍රණයෙන් එළිදක්වලා තියෙනවා. මගේ ගණන් බැලීමේ හැටියට තාත්තා පොත් 1011 ක් ලියලා තියෙනවා.
ප්රශ්නය: ඒත් ඒවා ඩිමයි 1/16 ප්‍රමාණයේ පිටු අනූහයේ විතර සාක්කු පොත් නේද?
පිළිතුර: වැඩි ප්‍රමාණයක් ඒවා වුණත්, ඊට වඩා ලොකු ප්‍රමාණයේ පිටු වැඩි ගණනක් තියෙන පොතුත් ඒ අතරේ තියෙනවා.

ප්රශ්නය: නමුත් ඒ පොත්වල ප්‍රමාණය, ඒවායේ කඩදාසි වර්ගය, පිටු ගණන වගේම ඒවාට ගැබ්වුණු මාරක කතා සහ රහස් පරීක්ෂක කතා වගේ තේමාවන් හින්දා ඒ පොත් බොහෝ දෙනා අතරේ පිළිගැනීමට ලක් නොවුණා වෙන්න බැරිද?
පිළිතුර: තාත්තා නව යොවුන් කාලෙදීම රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය කියන පොත සිංහලට පරිවර්තනය කරගෙන ප්‍රකාශකයෝ කීප දෙනෙක් ළඟට ගිහින් තියෙනවා. ඒත් ඒක කවුරුත් භාර අරගෙන නෑ. ඊට පස්සේ තාත්තා “සිනමා” පත්තරේ මාධ්‍යවේදියෙක් හැටියට වැඩ කරලා 1955 දී “රිදී තිරය” කියන පත්තරේ පටන් ගන්නේ. එතකොට තාත්තගේ වයස අවුරුදු විසි දෙකයි. ඊටත් පස්සේ තමයි පල්ප් සාහිත්‍ය, එහෙමත් නැත්නම් පල්ප් ප්‍රබන්ධ කියන ශෛලිය අපේ රටට හඳුන්වලා දුන්නේ. ඒකට තාත්තට උදව් කරන්නේ මරදානේ සොක්කලිංගම් මුදලාලි. පල්ප් කියන්නේ ලෝක සාහිත්‍යයේ ප්‍රධානම ධාරාවකට අයිති එකක්. මිල අඩු පල්ප් කඩදාසිවලින් පොත් මුද්‍රණය කරලා අඩුම මිලකට ඒවා සාමාන්‍ය ජනතාව අතරට පත් කිරීම ලෝකයේ සෑම රටකම ඉතා හොඳ සාහිත්‍ය සේවයක් විදිහට හැඳින්වෙනවා. ඒ අතරේ ලෝක ප්‍රකට ගත්කතුවරුන් පවා මේ පල්ප් ප්‍රබන්ධ ඉදිරිපත් කරලා තියෙනවා. කොටින්ම කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥ ආතර් සී. ක්ලාක් පවා.
ප්රශ්නය: නමුත් ඔබේ තාත්තාගේ කතා බොහොමයක් බටහිර රහස් පරීක්ෂක කතා සහ අද්භූත කතාවල “කොපි” කියලා නේද සමහරුන් කියන්නේ?
පිළිතුර: තාත්තා ලියපු සමහර කතා ඉංග්‍රීසි ලේඛක ඉයන් ෆ්ලෙමින් ලොවට හඳුන්වලා දීපු ජේම්ස් බොන්ඩ් කතා සහ අයිරිෂ් ලේඛක බ්රෑම් ස්ටෝකර් හඳුන්වලා දීපු ඩ්රැකියුලා සිටුවරයාගේ කතා හැටියට තමයි හුඟදෙනෙක් හඳුන්වන්නේ. ඒත් මතුපිටින් එහෙම පෙනුණට තාත්තා බොහෝ විට කරලා තිබුණේ ඒ කතා ආකෘතීන් අපේ රටට සහ සමාජයට ගැලපෙන විදිහට දේශීය ස්වරූපයෙන් ඉදිරිපත් කරපු එක. නමුත් ඒ ඇත්ත අදටත් සමාජයෙන් වසන් වෙලා තියෙන්නේ.
ප්රශ්නය: ඔබේ තාත්තාගේ පොත්වල අසභ්‍ය ලිංගික කරුණු ගැබ්වෙලා තිබුණු බවටත් චෝදනාවක් තිබුණා නේද?
පිළිතුර: ඉතාම පැහැදිලිව කිව්වොත් ඒක තාත්තාගේ ජනප්‍රියත්වය දරාගන්න බැරි සීමිත පිරිසක් එල්ල කරපු මඩ ප්‍රහාරයක්. ඔය චෝදනා එල්ල වුණු කාලේ, “මම ලියපු පොතක ඒ අසභ්‍ය වචනයක්, වාක්‍යයක් හරි ඡේදයක් හරි තිබුණොත් පෙන්නන්න. මම මගේ මුළු සේසතම ඒ මනුස්සයට පවරලා දීලා මහ පාරට බහිනවා” කියලා තාත්තා විවෘත අභියෝගයක් කළා. නමුත් කිසිම කෙනෙක් ඒ අභියෝගය භාරගත්තේ නෑ. ඒ කාලේ තාත්තාගේ සමීපතමයෙක් හැටියට හිටපු වර්නන් අංකල් (ජනප්‍රිය ගායක වර්නන් පෙරේරා) ඒ බව දන්නවා.
ප්රශ්නය: නමුත් ඔබේ තාත්තා ලියූ මිනීමැරුම්, අපරාධ සම්බන්ධ කතා පුවත් හින්දා තරුණ මනස අපරාධවලට යොමු වෙන බවටත් ඒ කාලේ කතා පැතිරිලා තිබුණා.
පිළිතුර: සමාජයේ සිදුවෙන අපරාධ වාර්තාකරණයයි, අපරාධ ලුහුබැඳීම සම්බන්ධ රහස් පරීක්ෂක කතා ලිවීමයි දෙකක්. ඒවා කියවන හැමෝම ඒ බව දන්නවා. මේවා අපි එදිනෙදා කතාවට කියන විදිහට “ත්‍රිලර් ස්ටෝරි” කියන ගණයට තමයි අයිති වෙන්නේ. මේවා කියවන අය ඒ ඔස්සේ අපරාධවලට යොමු වෙනවා කියනවාට වඩා, අපරාධ ලුහුබැඳින්න යොමු වෙනවා කිව්වොත් නම් ඔන්න හරි.
ප්රශ්නය: එහෙනම් ඔබේ පියාට නිසි සමාජමය පිළිගැනීමක් නොලැබුණේ ඇයි?
පිළිතුර: එහෙම පිළිගැනීමක් ලැබුණු හින්දා නේද තාත්තාට පොදු ජන සමාජයෙන් ‘මාරක කතා චක්‍රවර්ති’ කියන නම පටබැඳුණේ?
ප්රශ්නය: ඩීමන් ආනන්ද නමින් පොත් ලියූ ඔබේ තාත්තාගේ සැබෑ නම මොකක්ද?
පිළිතුර: උප්පැන්නයේ තියෙන විදිහට තාත්තාගේ සැබෑ නම බණකියනගේ ඩීමන් ආනන්ද. උපන් දිනය 1933 මාර්තු 30 වෙනිදා. නමුත් පස්සේ තාත්තා ‘ඩීමන් ආනන්ද’ කියන නම එහෙමම තිබියදී, “බණකියනගේ” කියන වාසගම විතරක් “බෝපෙකනත්තගේ” කියලා වෙනස් කරගත්තා.
ප්රශ්නය: ඒක ඔබේ තාත්තාටත් සම්බන්ධ වාසගමක්ද?
පිළිතුර: නෑ. ඒක තාත්තා තමන්ගේ බණකියනගේ වාසගම වෙනස් කරගන්න යොදාගත්තු මනංකල්පිත වාසගමක්. ඒක සමහරවිට තාත්තාගේ ප්‍රියතම මාරක කතා විෂය පථයට සම්බන්ධ හින්දා එහෙම යොදාගන්න ඇති.

ප්රශ්නය: තාත්තා පොත් ලියූ කාලය ඔබට මතකද?
පිළිතුර: 1980 ගණන්වලදී මට තරමක් දැනුම් තේරුම් ඇති වයසට එනකොට තාත්තා පොත් ලිවීම නතර කරලා මුද්‍රණ කර්මාන්තයට සම්බන්ධ වෙලා හිටියා. මුලින් කලෙයිමගල් සමාගමට සම්බන්ධ වෙලා හිටපු තාත්තා, පස්සේ සුජිකලා ආයතනයේ හිමිකාරත්වය භාරගත්තා. නමුත් මම තාත්තාගේ සමහර පොතපත කියවලා තිබුණා.
ප්රශ්නය: ඔබ දකින විදිහට තාත්තා මොන වගේ කෙනෙක්ද?
පිළිතුර: ඒකට දෙන්න පුළුවන් කෙටිම උත්තරේ තමයි මහ මෙර වගේ නොසැලෙන කෙනෙක් කියන එක.
ප්රශ්නය: එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවාද?
පිළිතුර: එකක් නෙවෙයි, හේතු ගණනාවක් තියෙනවා. ඉන් ප්‍රධානම එකක් තමයි 1970 ගණන්වල තාත්තාගේ පොත් වේගයෙන් ජනප්‍රිය වෙද්දී තාත්තට පහරගහන්න සංවිධානාත්මක පිරිස් පෙළගැහිලා හිටියා. ඒත් තාත්තා තනි මිනිහෙක් හැටියට ඒවාට බය නැතුව මුහුණ දුන්නා. එක සැරයක් තාත්තාගේ ජනප්‍රියත්වයට එරෙහිව “ඩීමන් ආනන්දගෙන් පාඨකයන් බේරාගනිමු” කියලා ලොකු සම්මන්ත්‍රණයක් සංවිධානය වෙනවා කියලා දැනගෙන, තාත්තත් ගිහින් ඒකේ දේශනවලට හිනාවෙවී අත්පොඩි ගහමින් කන්දීලා ගෙදර ඇවිත්, “ඔය වැඩෙන් මාව තවත් ගොඩයනවා” කියලා අම්මාට කිව්වලු. ඒ එක්කම එක සැරයක් කැලණි ගඟ පිටාර ගලලා අපේ වැල්ලම්පිටියේ මහ ගෙදර යටවුණා. තාත්තා ලියපු පොත්වලින් වැඩිම කොටසක් ගඟේ ගියා. එතකොට ඒ ගැන අහපු හැමෝටම, “ඩීමන් ආනන්දගේ පොත් ගඟේ ගියාට ඩීමන් ආනන්දව ගඟේ ගියේ නෑ, ගඟේ යවන්නත් බෑ; කවදා හරි මතු වෙනවා” කියලා හිනාවුණාලු.
ප්රශ්නය: අද වෙනකොට ඔබේ තාත්තාගේ යටපත් වුණු කීර්තිය ටිකෙන් ටික මතු වෙන්න පටන් අරන්. ඔබ කියන්නේ තාත්තා ඒක කල් ඇතිව දැනගෙන හිටියා කියලද?
පිළිතුර: මම හිතන්නේ ඔව්. තාත්තා මගෙයි අයියලා දෙන්නගෙයි නම්වලටත් ‘ආනන්ද’ කියන කොටස යොදලා තියෙන්නේ ඒ හින්දයි. ඒ හින්දම අපි අපේ පුතාලා දෙන්නගේ නම්වලටත් ‘ආනන්ද’ කෑල්ල එකතු කළා.

ප්රශ්නය: එහෙම නම් ඔබේ පවුලේ විස්තර ටිකක් කියන්න.
පිළිතුර: මගේ අම්මා කුසුම් ජයසුන්දර. දැන් ජීවතුන් අතර නෑ. ලොකු අයියා සුනෙත් දීවාන් ආනන්ද, පොඩි අයියා ක්‍රිශාන් සුප්‍රිය ආනන්ද, මගේ මහත්තයා ලලිත් ජයදේව, ලොකු පුතා ෂමල් ආනන්ද. ඒ හැමෝම දැන් ඉන්නේ ඉතාලියේ. මෙහෙ මගේ පොඩි පුතා තිදස් ආනන්දයි මායි විතරයි. පොඩි පුතාගේ උසස් පෙළ ඉවර වුණාම අපිත් ඉතාලියේ පදිංචියට යනවා.
ප්රශ්නය: ඔබ මීට කලින් මාධ්‍ය හමුවට ආපු කෙනෙක් නෙවෙයි නේද?
පිළිතුර: නෑ. මීට කලින් මට පත්තර, ටීවී, වෙබ් සයිට් කීපයකින්ම තාත්තා ගැන විස්තර දැනගන්න කතා කළා. ඩීමන් ආනන්දගේ දුව වීම මට ආඩම්බරයක්; ඒත් ඒකෙන් විශේෂ ප්‍රසිද්ධියක් ගන්න මට අවශ්‍ය වුණේ නෑ.
ප්රශ්නය: එහෙනම් ඔබ දැන් ඇයි මේ විදිහට ඉදිරිපත් වුණේ?
පිළිතුර: තාත්තා මියගියේ 2007 පෙබරවාරි 15 වෙනිදා. ඒ වගේම “ඩීමන් ආනන්දගේ පොත් ගඟේ ගියාට ඩීමන් ආනන්දව ගඟේ යන්නේ නෑ, කවදා හරි මතු වෙනවා” කියලා කියපු කතාව දැන් ටිකෙන් ටික ඇත්ත වෙනවා. ඒ එක්කම තාත්තා අපේ නම්වලටත් තාත්තාගේ ‘ආනන්ද’ කියන කොටස එක් කරපු එක ගැනත් අපි හිතන්න ඕනනේ. ඒ වගේම මේ වෙනකොට කෘත්‍රිම විදිහට යටපත් කරලා තියෙන ඩීමන් ආනන්දගේ සැබෑ ලේඛක ප්‍රතිරූපය ඉස්මතු විය යුතුයි කියන පොදු ජන හඬත් දැන් ටිකෙන් ටික සමාජ කරලියට එනවා. එතැනදී නිහඬ වෙලා ඉන්න අපිට කීයටවත් බෑනේ. ඒකයි මම තාත්තා වෙනුවෙන් මෙහෙම හරි ඉදිරිපත් වුණේ.
සංවාදය සහ ඡායාරූප: සිරිසේන ගමගේ