ඔස්කාර් උළෙලේ දී රිවර්ස්ටන් සමග තරග කරන විශිෂ්ට චිත්‍රපට


මෙවර ඔස්කාර්  උළෙලට අපේ චිත්‍රපටයකුත් ඉදිරිපත් වෙන නිසා සම්මාන උළෙල ගැන ශ්‍රී ලාංකීය සිනමාලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වේවි. ලබන වසරේ මාර්තු 14 වැනි දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන 99 වැනි ඔස්කාර් සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉදිරිපත් කළේ  රිවර්ස්ටන් (Riverstone)  චිත්‍රපටය යි. ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ යුවළ ගේ නිශ්පාදනයක්.

රිවර්ස්ටන් තරග කරන්නේ ඔස්කාර් උළෙලේ හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය (Best International Feature Film ) සම්මානය වෙනුවෙනු යි. මෙය එම උළෙලේ පිරිනමනු ලබන ප්‍රධානම සම්මානයක්. විවිධ රටවල නිපදවෙන විශිෂ්ටම චිත්‍රපට මේ කාණ්ඩය යටතේ තරග වදින නිසා සෑම වසරකම  මේ සම්මානය සඳහා  ඉතා දැඩි තරගයක් පවතිනවා.  මෙවරත් එය එසේම වනු ඇති බවට සැකයක් නැහැ.

වාර්තාවන ආකාරයට රටවල් 93 ක් මේ වසරේ නිල වශයෙන් චිත්‍රපට ඉදිරිපත් කර තිබෙනවා. රටවල් මේ ආකාරයෙන් ඉදිරිපත් කරන චිත්‍රපටවලට අමතරව ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලවල දී සම්මාන දිනාගත් චිත්‍රපටවලටත්  තරගයට ඉදිරිපත් විය හැකියි. මෙය ඔස්කාර් සුදුසුකම් ලැයිස්තුවට ඇතුළත් වූයේ මේ වසරේ යි.

ඉදිරිපත් වන චිත්‍රපට අතරින් 15 ක් දෙවැනි වටය සඳහා තෝරා ගැනෙන අතර ඒ චිත්‍රපට මොනවාද යන්න දෙසැම්බර් 15 වැනි දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි. ඊළඟට ඒ අතරින් පහක් අවසන් වටය සඳහා නිර්දේශ කෙරෙනවා. එසේ නිර්දේශ වන චිත්‍රපටවල නම් ජනවාරි 21 වැනි දින ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. අපේ රිවර්ස්ටන් මේ තරගයේ කෙතරම් දුරක් යාමට සමත් වේවි ද යන්න කුතුහලය දනවන කාරණයක්. මෙම සම්මාන උළෙලේ පවතින තරගකාරිත්වය ගැන සලකා බලන කල දෙවැනි වටයට හෝ අවසන් චිත්‍රපට 5 ට තේරුණත් එය විශාල ජයග්‍රහණයක්.

අප අයත්වන දකුණු ආසියානු කලාපයෙන් තව චිත්‍රපට හතරක් ඔස්කාර් උළෙලට ඉදිරිපත් වී තිබෙනවා. ඒ පහත සඳහන් ඒවා යි:

Gondhal (ඉන්දියාව)
Hanging by a Wire (පාකිස්තානය)
Elephants in the Fog (නේපාලය)
Roid (බංග්ලාදේශය)

ඉන්දියාව ඉදිරිපත් කර ඇති ගොන්දාල් චිත්‍රපටය මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක (Psychological thriller) චිත්‍රපට  ෂානරයට අයත් නිර්මාණයක් බවයි පැවසෙන්නේ. ගොන්දාල් යනුවෙන් හැඳින්වෙන්නේ   ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර  ප්‍රදේශයේ පවතින සම්ප්‍රදායික පූජා විධියක්. චිත්‍රපටයේ ප්‍රධාන කතාපුවත අතෘප්තිකර  විවාහ ජීවිතයක් ගත කරන කාන්තාවක සහ ඇගේ අනියම් පෙම්වතා පසුබිම් කරගත්තක්.  ගමේ විවාහ උත්සවයක් අතරතුර ගොන්දාල් පූජාවක් පැවැත්වෙද්දී  විවාහක කාන්තාව  සහ ඇගේ  පෙම්වතා රහසින් පලායාම සඳහා කරන සැලැස්මක් ආශ්‍රයෙන් කතාව  විකාශනය වන බව සඳහන්.

බංග්ලාදේශය ඉදිරිපත් කර ඇති රොයිඩ් නම්  චිත්‍රපටය ඈත පිටිසර ගමක  පුරුෂයකු සහ ඔහුගේ “අමුතු” බිරිඳ අතර ලිංගික සම්බන්ධය පසුබිම් කරගත් නිර්මාණයක්.  බිරිඳ සිය සැමියාට ලිංගික වශයෙන් තමා වෙත සමීප වීමට ඉඩ නොදීම හා බැඳුණු සිදුවීම් දාමයක් ඇසුරෙන් චිත්‍රපටය දිගහැරෙන බව සඳහන් වෙනවා.

නේපාලය  ඉදිරිපත් කර ඇති Elephants in the Fog පිරිමියෙකුත් නොවන කාන්තාවකත් නොවන කෙනෙකු කේන්ද්‍ර කරගත් සිනමා කෘතියක් බව සඳහන්.
මෙම චිත්‍රපටය මේ වසරේ කාන් චිත්‍රපට උළෙලේ Un Certain Regard  අංශයේ  ජූරි සම්මානයක් හිමි කරගත්තා.

කාන්, බර්ලින්, වැනිස් වැනි ලෝකයේ කීර්තිමත්ම සිනමා උළෙලවල දී ඉහළම සම්මාන දිනාගත් චිත්‍රපට රැසක් මෙවරත් හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය සම්මානය සඳහා තරග කරනවා. ඒ නිසා අපේ රිවර්ස්ටන්ට විශාල තරගයකට මුහුණ දෙන්නට සිදු වනු ඇති.

පසුගිය වසරේ මෙම ඔස්කාර් සම්මානය හිමි කරගත්තේ  නෝර්වේ ඉදිරිපත් කළ  Sentimental Value  චිත්‍රපටය යි. මෙය  2025 කාන් සිනමා උළෙලේ   Grand Prix  සම්මානය දිනා ගත්තා. Grand Prix යනු එම උළෙලේ දෙවැනි ඉහළම සම්මානය යි.

මේ වසරේ කාන් සිනමා උළෙලේ Palme d Or සම්මානය , එනම් ඉහළම සම්මානය දිනාගත් Fjord චිත්‍රපටයත් ඔස්කාර් උළෙලට ඉදිරිපත් කර තිබෙනවා. මෙය රුමේනියානු සිනමා කෘතියක්.

ජර්මනිය මේ අවුරුද්දෙ  නිල වශයෙන් ඉදිරිපත් කර ඇති  Everytime  මෙවර  කාන් සිනමා උළෙලේ  Un Certain Regard අංශයේ හොඳම චිත්‍රපටය යි .

2026  බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස  රන් වලසා සම්මානය දිනා ගත් Yellow Letters චිත්‍රපටයත් ඔස්කාර් උළෙලේ තරග වදිනවා. එමෙන්ම වැනිස් සිනමා උළෙලේ දී  හොඳම චිත්‍රපටය වූ  Woman Unknown ද ඔස්කාර් සම්මානය සඳහා තරග වදින චිත්‍රපටවලට ඇතුළත්.

 

මාර්තු 14 වැනි දා ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන්නේ සුපුරුදු ලෙස ම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේ යි.

මෙවර පැවැත්වෙන්නේ 99 වැනි ඔස්කාර් උළෙල යි. මෙම උළෙල ආරම්භ වූයේ 1929 වසරේ යි. පළමු උළෙල අද මෙන් මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ එකක් නොවෙයි. හොලිවුඩ් රූස්වෙල්ට් හෝටලය නම් ස්ථානයේ එය පවත්වා තිබුණේ රාත්‍රි භෝජන සංග්‍රහයක ආකාරයෙන්. සම්මාන ප්‍රදානයට ගත වී තිබුණේ විනාඩි 15 ක පමණ කාලයක්. සහභාගි වී තිබුණේත් 270 දෙනෙකු පමණ යි. එවර හොඳම චිත්‍රපටය වූයේ Wings නැමැති චිත්‍රපටයක්.

නිහාල් පීරිස්

රසගඟුල