ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් ගැටුම අද

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අද (31) පැවැත්වෙයි.මෙම තරගය අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

එංගලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙන් පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ මූලික වටයේ තරග 4කට එක්වූ පාකිස්තානය ඉන් තරග 3ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් කල්වේලා ඇතිව අවසන් තරගයට ද සුදුසුකම් ලබාගන්නාලදි.

මෑත කාලයේ පරාජයන් රැල්ලකට හසුවී සිටි ශ්‍රී ලංකා පිල මෙම තුන්කොන් තරගාවලියේදී යළි අළුගසා නැගී සිටියේ ජය පිපාසයෙන් සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන ජයග්‍රහණ කිහිපයක් ලබාදෙමිනි.

ශ්‍රී ලංකාව තුන්කොන් තරගාවලියේ මූලික වටයේ තරග 4කට එක්වෙමින් තරග 2ක් ජයගෙන එංගලන්ත පිලේ සිහින බොඳ කරමින් කල්වේලා ඇතිව අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නාලදි.

අද අවසන් මහා තරගය පැවැත්වෙන ලාහෝර් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා පිලට වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙස සැලකෙයි.ශ්‍රී ලංකා පිල මේ දක්වා එම ක්‍රීඩාංගණයේ සහභාගි වූ එක්දින තරග 16න් තරග 11ක් ජයගැනීමට සමත්වී තිබේ.අවසන් වරට ලාහෝර් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව පිල සහභාගී වූ එක්දින තරග 7න් තරග 6ක්ම ‍ජය ගෙන තිබීමද විශේෂත්වයකි.

කාලීන පුවත්