ආණ්ඩුව භාණ්ඩ මිල පාලනයෙන් ඉවත් වීම පන්තිය චණ්ඩි කොලුවෙකුට බාර දී ටීචර් ගෙදර යාමක්

රටක අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය සහ නියාමනය බලයේ සිටින රජයක මූලික වගකීමක් හා යුතු කමකි.එහෙත් වත්මන් රජය තමන් සතුව තිබූ මිල පාලනය කිරීමේ අයිතිය අදාල සමාගම් වෙත පවරා තිබේ.

ඒ ජනතාව අන්ත අසරණභාවයට පත් කරමිනි. පසුව සමාගම් කිරි පිටි පැකැට්ටුවේ මිල ඉහළ දමමින් ආරම්භ කළ මිල වැඩි කිරීමේ ක්‍රියාන්විතය වේගයෙන් ඉදිරියට ඇදී ආවේ ගෑස්, සිමෙන්ති හා පාන් පිටි මිල ද ඉහළ දමමිනි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලන වගකීම සමාගම් වලට පවරා රජය මෙසේ ඉවත් වීම අප දකිනුයේ පන්තිය පාලනය කරගත නොහැකි බැවින් එය චණ්ඩි කොලුවකුටම බාර දී ටීචර් ගෙදර යාමක් ලෙසිනි.

ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 2750 දක්වා ඉහළ නැංවූ අතර අතර එය රුපියල් 75 කින් අඩු කළේය. නමුත් ඉහළ දැමුණු කිලෝග්‍රැම් 5 ක කුඩා ගෑස් සිලින්ඩරයක මිලෙහි වෙනසක් සිදුවූවේ නැත. ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරය රුපියල් 1101 දක්වා ද කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 520 දක්වා ද ඉහළ ගියේය.

ලාෆ් ගෑස් සමාගම ද කිලෝග්‍රැම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2840 දක්වා ද, කිලෝග්‍රැම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1136 දක්වාද ඉහළ නැංවීය.. තිරිඟු පිටි ආනයනය කර බෙදා හරින සෙරන්ඩිබ් හා ප්‍රිමා සමාගම් ද පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීය.

සිමෙන්ති කොට්ටයක මිල ද රුපියල් 93 කින් ඉහළ නැංවීමට අදාළ සමාගම් තීරණය කළේය. මේ සියළු දෙනා පවසන්නේ ලෝක වෙළෙද පොලේ මිල ඉහළ යාම හා ඩොලරයේ අගය ඉහළයාම යන කාරණා දෙක පදනම් කර ගනිමින් මෙලෙස මිල ඉහළ දමන බව ය.එහෙත්, ඒ කතා වල ඇත්ත නැත්ත පසෙක තිබිය දී වෙළෙන්දාගේ අරමුණ උපරිම ලාබ ලැබීම බව නොදන්නා මෝඩයකු සිටිය නොහැක.

මෙවර ගෑස් සමාගම් මිල වැඩි කළේ ඉතිහාසයේ ඉහළම ප්‍රතිශතයකිනි . මෙම සමාගම් දෙකම මිල වැඩිකිරීමක් ඉල්ලුවේ 2021 වසරේ මුල සිටය. එම අවස්ථාවේ ඔවුන් ඉල්ලා සිටියේ රුපියල් 300 කින් මිල ඉහළ නැංවීමට ය. රජය ගෑස් සමාගම් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ ඉල්ලීම් කල් දැමුවේය. පසුව මිල ඉහළ දැමීමට කල ඉල්ලීම් ආණ්ඩුව මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කළේය.මෙවර ගෑස් සමාගම් ආණ්ඩුවෙන් ඒ “වාඩුව” ද ගෙන ඇති සේ ය.

මුල දී ආණ්ඩුව තම ඉල්ලීම්වලට කන් නොදීම හා ඉල්ලීම් ප්‍රතික්ෂේප වීම යන කාරණා මත ලාෆ් ගෑස් සමාගම ගෑස් බෙදා හැරීම නතර කළේය. එහි ප්‍රතිඵලය වූයේ රට පුරා ගෑස් හිඟයක් ඇති වීමය.දැන් ගෑස් සමාගම් දෙකම තමන්ට හිතු මනාපෙට ගෑස් මිල වැඩි කර තිබේ..

ගෑස් මිල ඉහළ යෑමෙන් පිසින ලද සියළුම ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යනු ඇත.ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ ප්ලේන්ටියේ මිල හැරුණු කොට අනෙක් සියළුම ආහාර ද්‍රව්‍යන්ගේ මිල වැඩි කිරීමට සිදුවන බවය.

කිරි තේ එකක් රුපියල් 10 කින් වැඩි වන් අතර බත් පැකැට්ටුව ද රුපියල් 10 කින් මිල ඉහළ යනු ඇත. පාන් පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ යන අතර අනෙකුත් සියළුම බේකරි නිෂ්පාදනයන්ගේ මිල ද ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ජිවත්වීමට සේම මරණයට ද ගෑස් මිල බලපා තිබේ.. ඒ ආදාහනාගාර මෘතදේහ ආදාහනය කරන්නේ ගෑස් උපයෝගී කරගෙන වීම නිසා ය. ආදාහනාගාර ගාස්තුව ද මේ අනුව ඉහළ නැංවීමට සිදුවන බව පළාත් පාලන ආයතන නියෝජිතයෝ පවසති.

ඒ අනුව දැන් ජනතාවට මරණයෙන් පසු දැවී අලුවීමට ද වැඩි මිලක් ගෙවීමට සිදු වන අතර ජීවත්වීමට තබා මරණයට නිදහසක් නැති රටක් මේ වන විට නිර්මාණය වෙමින් තිබේ.

ආණ්ඩුව භාණ්ඩ මිල පාලනයෙන් ඉවත්වූ විට භාණ්ඩ මිල නූල කැඩුණු සරුංගලයක් සේ යැයි වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය කළ විමසීමකදී කියා සිටියේය. සරුංගලේ නූල කැඩුවේ මහජනතාව නොව ආණ්ඩුව විසින්ම බව ඔවුනට අමතක වී ඇතුවා සේය.නගරයේ ජනයා බහුල තැනක දී “පොකැට්ටුවක් ගසා”වැඩේ වැරදී අවට හිඳින්නවුන් ලුහු බඳින විට පොකැට් කාරයා දුවන්නේ ද “ඔන්න හොරෙක්! ඔන්න හොරෙක්!”කියමිනි.

එවිට අවට සිටින්නවුන් තමන්ට ඉදිරිය දෙස බලන බව හොරා දන්නා බැවිනි.ඒ “ගණ දෙවි නුවණ”ඇමති බන්දුලටත් එලෙසින්ම පිහිටා ඇති බව ඔහුගේ මේ කියුමට අනුව පෙනෙයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගස පාරිභෝගික සේවා අධිකාරියට ද විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු පත් කළේය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ධූරයට ද මෙවැනිම හමුදා නිලධාරියෙකු පත් කළේය.පත් වීම ගත් මුල් දිනවල මැනිං වෙළෙද පොළට ගිය පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල්වරයා සිල්ලර වෙළෙන්දෙකුගේ කණ පැලීමට ද සුදානම් විය.

එය රූපවාහිනියෙන් දුටු රටේ ජනතාව සිතුවේ”දැන් ඉතින් බිස්නස් කරන සකල විධ චණ්ඩින් නට්ටන් වනු ඇතැ”යි කියාය.එහෙත්,අවාසනාවක මහත! සිල්ලර වෙළෙන්දාගේ කණ පලන්න ගිය නිලධාරියා මහා පරිමාන සහල් මෝල් හිමියන් ඉදිරියේ නායක හාමුදුරු නමක් ඉදිරියේ සිටින ඇබිත්ත කොලුවකු සේ සුවච කීකරු අයුරින් සිටිනු දක්නට ලැබුණි. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ද දැන් සොයා ගැනීමට නොමැත.

ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනින්නාසේ නැවත වරක් තෙල් මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල සුපුරුදු සිනා මුසු මුහුණින් යුතුව ප්‍රකාශ කළේය.

ලෝක වෙළෙද පොලේ ඛනිජ තෙල් මිල පසුගිය වසර 4 ට සාපේක්ෂව ඉහළම අගයක් වාර්තා කර තිබෙන බවද ඔහු කියා සිටියේය. මේ කාරණය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද ඔහු කීවේය.

ඉන්ධන මිල ඉහළ දැමීම යනු යළිත් වටයක් සියළුම භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යාමකි. නැවත වරක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල කරනමක් ගසා ඉහළ නඟිනු ඇත.

අඩුම බස් ගාස්තුව ඉහළ නැඟීමේ සිට සියළු ප්‍රවාහන ගාස්තු ඉහළයාම ද ජනතාවගේ කරමත පතිත වන්නේය. ජනතාවගේ ආණ්ඩු කරන්නන්ගේ දෙමාපියන් මේ දිනවල සිහිපත් කරන්නේ දරාගත නොහැකි පීඩනය නිසාවෙනි.

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්ගේ මිල ඉහළ ගිය ද ජනතාවට ලැබෙන ආදායම නම් ඉහළ ගොස් නැත. කොවිඩ් වසංගතය හේතුවෙන් මාසික අඩ වැටුප් ලබන සේවකයෝ ද සිටිති.

දීමනා සියල්ලම අහිමි වී පඩි පතේ තිබෙන මුලික වැටුපට පමණක් සීමාවූ සේවකයෝද සිටිති. මේ කිසිවෙකුගේ වැටුප් මේ කාලයේදි වැඩිවී නැත. වැටුප් වැඩි නොවී භාණ්ඩ හා සේවා මිල ඉහළයාම තුළ පීඩාවට පත් වන්නේ ජනතාව ය.

රටේ ආර්ථිකයේ කුමන පීඩනයක් මතුවුවද මහජන මුදලින් යැපෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ වැටුප්, දීමනා හා වරප්‍රසාද එක ශතයකින්වත් අඩුවී නැත.

ඔවුහු ඒ සියළු වරදාන වරප්‍රසාද භුක්ති විදිමින් සිටිති. මේ සියලු තත්වයන් යටහේ අපේ රට සම්බන්ධ අතිශය අවිනිශ්චිත සමයකට මුහුණ දී අපිත් ඔහේ බලා හිඳිමු.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර