CID භාරයේ සිටි සුරේෂ් සලේ රෝහල්ගත කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID) භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 7 වන වාට්ටුවට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත්, රෝහල්ගත කර සිටින සලේ මහතාගේ සුවදුක් විමසීමට ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හෝ නීතිඥවරුන්ට මෙතෙක් අවසර ලබා දී නොමැති බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු චෝදනා කර සිටියි. මේ අතර, මෙම විමර්ශන සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අවධාරණය කළේ පාස්කු ඉරු දින ප්‍රහාරයට සුරේෂ් සලේ මහතා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, මේ වන විට සිදු කෙරෙන ඇතැම් ප්‍රකාශ අසත්‍ය බවත්ය. පාස්කු විමර්ශන සඳහා ඇතැම් පාර්ශවයන් අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට චෝදනා කළ ඒ මහතා, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පවා නොසලකා හරිමින් ශානි අබේසේකර මහතා වැනි නිලධාරීන් විමර්ශනවලට සම්බන්ධ කර ගැනීම ගැටලු සහගත බව පෙන්වා දුන්නේය. තවද, 2018 වසරේ මැතිවරණ ප්‍රතිඵල අනුව දේශපාලන දිශානතිය ඒ වන විටත් තීරණය වී තිබූ බැවින්, කිසිවෙකු බලයට පත් කිරීම සඳහා මෙවැනි කුමන්ත්‍රණයක් සිදු කිරීමට අවශ්‍යතාවක් නොවූ බව පැවසූ අලි සබ්‍රි මහතා, තමන් ඉදිරියටත් දේශපාලනයට නොපැමිණ නීතිඥවරයෙකු ලෙස පමණක් කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්