අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්න

ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි. ජනාධිපතිවරයාගේ කැබිනට් අනුමැතිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කලාප කාර්යාලවල ලිඛිත නිර්දේශ තුළ 22,000කට ආසන්න අධ්‍යාපන සංවර්ධන නිලධාරී ගුරුවරුන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළ බව ද ඔහු අවධාරණය කරයි.විවිධ අවස්ථාවල මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නවායැයි පැවසුව ද මේ වනවිට ඉන් 5,000ක් පමණ ඉවත්ව ඇති නමුත් තවත් 17,000ක් පමණ මේ වනවිට ගුරු හිඟය මගහරවා ගැනීමට විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.එමෙන්ම වත්මන් රජය විපක්ෂයේ සිටින විට මේ සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගන්නා බවට පොරොන්දු වී ඇත.සමථකරණ යෝජනාවක් අනුව මොවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පශ්චාත් උපාධිය සමත් වීම ඔස්සේ ගුරුවරුන් ලෙස ස්ථිරවීමට හැකියාව පවතියි.මෙවැනි තීන්දුවක් තිබියදී පවා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට නොහැකි බවට දැන් රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.කෙසේ වෙතත් මැතිවරණ සමයේ වත්මන් ආණ්ඩුවේ නියෝජිතයින් ඡන්ද ලබා ගැනීම පිණිස මෙවැනි කතා මඟින් අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ද රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියි.

කාලීන පුවත්