පසුගිය දිනවල පැවැති ආපදාවෙන් විපතට පත් අය වෙනුවෙන් සහන සැලසීම සඳහා ආණ්ඩුව චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ ඒවා ඔවුන්ට ලබා දීමට නොව නොදීම සඳහා බව පෙනී යන බවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ආණ්ඩුව මේ වන විට නිකුත් කර තිබෙන චක්‍රලේඛ දෙස බලන විට ආපදාවන්ගෙන් විපතට පත් මුළු සංඛ්‍යාවෙන් 10%ට වත් එම චක්‍රලේඛවලට අනුව සහන ලබාදීමට හැකියාවක් නොමැති බව පෙනී යන බවක් රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා අනුරාධපුර ප්‍රදේශයේදී ඊයේ ( 21) දහවල් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිදු කරන ප්‍රකාශ පරිදි වැඩ කටයුතු සිදු නොවන බවයි.
අද මේ රටේ විපතට පත්ව සිටින්නේ අභිමානයක් ඇතිව ජීවත් වූ ජනතාව බවත් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ නැවත ශක්තිමත්ව නැඟී සිටීමට බවත් ඒ මහතා පවසයි.එවැනි අය වෙනුවෙන් ආර්ථික ශක්තියක් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව ආධාර දෙන බව පවසමින් ඒ අය නොමග යැවීම කිසිසේත් අනුමත කර නොහැකි බවත් එලෙස ආධාර ලබා ගැනීම ඔවුන්ගේ අපේක්‍ෂාව ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ යළි නැඟී සිටීම බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.“ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ. ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේශය අනුව ජනාධිපතිතුමාම පෙර පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා.” යැයි ද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියි.