වෙනිසියුලාවට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට ඇමෙරිකාව දීර්ඝ කාලයක සිට චෝදනා එල්ල කර තිබූ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රටින් පිටතට රැගෙන ගිය බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. සිය ටෲත් සෝෂල් (Truth social) සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක කරන අංශ සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම සාර්ථකව සිදු කළ බවයි.කෙසේ වෙතත්, මදුරෝ අත්අඩංගුවට ගත් ආකාරය හෝ ඔහු මේ වන විට රඳවා සිටින ස්ථානය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු හෙළිදරව් වී නොමැත.නිකොලස් මදුරෝ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට ඇමෙරිකාව දීර්ඝ කාලයක සිට චෝදනා එල්ල කරමින් සිටින අතර, ඊට අදාළව ඔහු අත්අඩංගුවට ගැනීමට මග පාදන තොරතුරක් වෙනුවෙන් ඩොලර් මිලියන 50ක විශාල ත්‍යාග මුදලක් ද ප්‍රකාශයට පත් කර තිබුණි. පසුගිය මාස කිහිපය තුළ එම කලාපයේ ඇමෙරිකානු හමුදා ශක්තිය වර්ධනය කිරීම, වෙනිසියුලාව තුළ මදුරෝට එරෙහිව අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීම සඳහා සිදුකළ බලපෑමක් ලෙස දේශපාලන විචාරකයින් විසින් අර්ථකථනය කර තිබේ. මදුරෝ විසින් මෙම මත්ද්‍රව්‍ය චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබූවද, නවතම ප්‍රහාරයත් සමඟ තත්ත්වය උත්සන්න වී ඇත.මේ අතර,වෙනිසියුලාවේ කැරකස් අගනුවර ප්‍රදේශ කිහිපයකින් විශාල පිපිරීම් ශබ්ද සහ ගිනිගැනීම් වාර්තා වී ඇති අතර නගරය පුරා දැඩි දුමාරයක් පැතිර පවතින බව ඇසින් දුටු සාක්ෂිකරුවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ.දේශපාලනික,වෙළඳ සේම සංස්කෘතික වශයෙන් අතිශය වැදගත් කැරකස් අගනුවර වෙත මෙම හමුදාමය ආක්‍රමණය දැඩි ලෙස හෙළා දකිමින් වෙනිසියුලානු රජය විසින් ජාතික හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති නමුත්, ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් වූ බව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර කරුණු පැහැදිලි කිරීම සඳහා ෆ්ලොරිඩාවේ මා-අ-ලාගෝ (Mar-a- Lago) හිදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් දැනුම් දී සිටී.
.