එක්ස්ප්‍රස් පර්ල් වන්දියේ වැඩි කොටස ධීවරයන්ට හිමි විය යුතුයි

මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිද්ධිය මුල් කරගනිමින් මෙරටට ගෙවීමට නියම ව ඇති වන්දි මුදලින් වැඩි කොටස ඉන් පීඩාවට පත්වූ ධීවරයන්ට ලබා දිය යුතු බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.එමෙන්ම ඒ හේතුවෙන් විනාශ වූ සමුද්‍රීය පරිසරය යළි පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සඳහා ද අදාළ වන්දි මුදලෙන් කොටසක් වැය කළ යුතු බව පියතුමා අවධාරණය කරයි.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට පසුගියදා නියම කොට තිබිණ.ඒ ඉන් මෙරට පරිසර පද්ධතියට හා ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් සහනයක් ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය, ධීවර ප්‍රජාව ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

කාලීන පුවත්