තමන්ට හිතවත් පුද්ගලයන් විගණකාධිපතිවරුන් ලෙස පත් කර රජයේ වංචා වසා ගනිමින් රටේ ජනතාවට දුන් පොරොන්දු කඩකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උත්සහ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා චෝදනා කරයි.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව පැවසීය.
මෙරට විගණකාධිපති තනතුර මෙම වසරේ අප්‍රේල් මස 8 වැනිදා හිස් වූ නමුත් ජනාධිපති කුමාර දිසානායක මහතාට අද වනතුරු සුදුසු නව විගණකාධිපතිවරයකු පත්කිරීමට නොහැකි වී ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ එම තනතුරට සුදුසු නිලධාරීන් සිටියදී මෙම ප්‍රමාදයට හේතුව කුමක්ද යන කාරණය අතිශය බැරැරුම් සහගත බවත් ඔහු කීය. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ආණ්ඩුවක් කළ විශාලතම වංචාව වරායේ කන්ටේනර් 323 ක් හොරෙන් නිදහස් කළ සිදුවීම සහ විගණකාධිපතිවරයා පත්කීරිමට දරණ උත්සහය පිටුපස යම්කිසි සහසම්බන්ධයක් තිබෙනවාද කියන සැකය මතුවන බව කී සාගර කාරියවසම් මහතා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමන්ගේ හිතවතෙක් විගණකාධිපතිවරයා ලෙස පත්කරගැනීමට සූදානම් වන්නේ මුදල් ඇමතිවරයා හැටියට ඔහු යටතේ තිබෙන රේගුව කළ මහා වංචනික ක්‍රියාව යට ගැසීමට හෝ මේ වංචනික ක්‍රියාව සාධාරණිකරණය කිරීමට විය හැකි බවද නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් කීය. එමෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මේ වන විට කීපවතාවක් වැඩබලන විගණකාධිපතිවරයා හැටියට පත්කර ඇති බවත් ඔහු වැඩබලන විගණකාධිපතිවරයා හැටියට හොඳින් කටයුතු කර තිබියදීත් තමන්ට හිතවත් පුද්ගලයෙක් මෙන්ම සුදුසුකම් නොමැති වෙනත් පුද්ගලයෙක් පිටින් ගෙනත් විගණකාධිපති තනතුරට පත් කිරීමට ජනාධිපති වරයා උත්සහ කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් වරයා කීය.