දහඅට සන්නිය: නොපෙනෙන ගැඹුරක් ඇති මනෝ චිකිත්සක රංගනය


මා මුල් වරට ‘සන්නි යකුම’ හෙවත් ‘දහඅට සන්නිය’ ශාන්ති කර්මයක් නැරඹුවේ 1970 දශකයේ අග භාගයේ මගේ තරුණ වියේදී ය. එකල මා එය දුටුවේ ඒ වන විට සමාජය තුළ පිබිදෙමින් තිබූ නවීන ආකල්ප නමැති අගනා මැණික් කැට හමුවේ ඇති ‘බොරළු’ හෝ ‘තිරුවානා’ ලෙසිනි. නමුත් 1990 දශකය වන විට දහඅට සන්නිය ඇතුළු දේශීය ශාන්ති කර්ම තුළ මා එතෙක් නොදුටු ගැඹුරක් ඇති බව මට කෙමෙන් වැටහෙන්නට විය. ඒ අනුව එම ශාන්ති කර්මය නරඹමින්, ඒ පිළිබඳ සාහිත්‍යය හදාරමින් හා එහි පවතින සමාජ මනෝවිද්‍යාත්මක පදනම විමසන්නට වූ මට, දැන් මගේ ඒ මුල් මතය පිළිබඳ අලුත්ම සිතුවිල්ලක් පහළ වී තිබේ. එනම්, “අනේ මා වැනි මෝඩයෙක් මේ ලෝකයේ තවත් හිඳී ද?” යන්නයි. ශ්‍රී ලාංකේය පහතරට නර්තන සම්ප්‍රදායේ අභිමානවත් සලකුණක් වන දහඅට සන්නිය යනු හුදෙක් අතීත ප්‍රාථමික ඇදහිල්ලක් හෝ එවන් ජන රංගනයක් නොවේ; එය දේශීය වෛද්‍ය ශාස්ත්‍රය, සමාජ මනෝවිද්‍යාව සහ නාට්‍ය හා රංග කලාව යන ත්‍රිවිධ අංශයන්ගේ අපූර්ව සම්මිශ්‍රණයකි. ඒ අනුව මෙවන් අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් පණ පිටින් වළ නොදමා ඒවා මතු පරපුර වෙත තිළිණ කිරීම පොදු සමාජමය වගකීමකි.

අප රටේ අන් සෑම ශාන්ති කර්මයක් සේම මෙය ද ඉන්දියානු පුරාණෝක්තියක් මත පදනම් වූවකි. මෙහි මූලාරම්භය විශාලා මහනුවර ලිච්ඡවී රජ පරපුරේ සංඛපාල රජු සහ ආයුපාලි බිසව වටා ගෙතුණු ශෝකජනක පුවතක් හා බැඳී පවතී. බිසව අනාචාරයේ යෙදුණු බවට රජු තුළ ඇති වූ සැකය නිසා අසාධාරණ ලෙස ඝාතනය වූ ඇගේ ශරීර කොටස්වලින් උපන් ‘කෝල සන්නි යක්ෂයා’, සිය පියාගෙන් පළිගැනීම උදෙසා නිපදවූ විෂ ගුලි දහඅටෙන් සන්නි යකුන් දහඅට දෙනෙකු බිහි වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙවන් සැකයක් නිසා සිදුවන මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ ‘ඔතෙලෝ’ (Othello) නාට්‍යයේ පස්වන ජවනිකාවේ ද සඳහන් වේ. එහිදී ඔතෙලෝ නම් සෙන්පතියා තුළ පවතින ඉහත ආකාරයේම අසාමාන්‍ය සැකය නිසා නිදි යහනේදී මරණයට පත්වන්නේ ඔහුගේ බිරිඳ වන රූමත් ඩෙස්ඩෙමෝනා (Desdemona) ය. ඉන් පසුව ‘ව්‍යාකූල ඊර්ෂ්‍යාව’ (Delusional Jealousy) නම් මනෝ ව්‍යාධිය ‘ඔතෙලෝ සහලක්ෂණය’ (Othello Syndrome) ලෙස ද ප්‍රකට විය.

අප රටේ අන් සෑම ශාන්ති කර්මයක් සේම මෙය ද ඉන්දියානු පුරාණෝක්තියක් මත පදනම් වූවකි. මෙහි මූලාරම්භය විශාලා මහනුවර ලිච්ඡවී රජ පරපුරේ සංඛපාල රජු සහ ආයුපාලි බිසව වටා ගෙතුණු ශෝකජනක පුවතක් හා බැඳී පවතී. බිසව අනාචාරයේ යෙදුණු බවට රජු තුළ ඇති වූ සැකය නිසා අසාධාරණ ලෙස ඝාතනය වූ ඇගේ ශරීර කොටස්වලින් උපන් ‘කෝල සන්නි යක්ෂයා’, සිය පියාගෙන් පළිගැනීම උදෙසා නිපදවූ විෂ ගුලි දහඅටෙන් සන්නි යකුන් දහඅට දෙනෙකු බිහි වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙවන් සැකයක් නිසා සිදුවන මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ ‘ඔතෙලෝ’ (Othello) නාට්‍යයේ පස්වන ජවනිකාවේ ද සඳහන් වේ. එහිදී ඔතෙලෝ නම් සෙන්පතියා තුළ පවතින ඉහත ආකාරයේම අසාමාන්‍ය සැකය නිසා නිදි යහනේදී මරණයට පත්වන්නේ ඔහුගේ බිරිඳ වන රූමත් ඩෙස්ඩෙමෝනා (Desdemona) ය. ඉන් පසුව ‘ව්‍යාකූල ඊර්ෂ්‍යාව’ (Delusional Jealousy) නම් මනෝ ව්‍යාධිය ‘ඔතෙලෝ සහලක්ෂණය’ (Othello Syndrome) ලෙස ද ප්‍රකට විය. නමුත් එම සිදුවීමට ලෝක සමාජය තුළ පවතින ප්‍රසිද්ධියෙන් අංශුවක් තරම්වත් දහඅට සන්නිය හා සබැඳි ඉහත පුරාණෝක්තියට ලැබී නැත. එසේ වුව ද, අදටත් අප රටේ සාම්ප්‍රදායික ගැමි සමාජය විශ්වාස කරන්නේ විශාලා මහනුවර වෙළාගත් තුන්බිය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ සේම; පක්ෂාඝාතය, වලිප්පුව, සිහිමූර්ඡාව වැනි දරුණු රෝගාබාධ මෙන්ම විවිධ මානසික ව්‍යාකූලතා ද මෙම බලසම්පන්න ශාන්ති කර්මය මඟින් සුවපත් කළ හැකි බවයි. මෙය අප සමාජයේ ජන ආගම හා ජන වෙදකම හා බැඳුණු විශ්වාසයකි.

මහා කෝල සන්නි යක්ෂයා සහ සන්නි දහ අට
මහා කෝල සන්නි යක්ෂයා සහ සන්නි දහ අට

යාග භූමිය හෙවත් ‘වීදි මාලාව’ සකස් කර රාත්‍රී කාලයේ ඇරඹෙන ‘සන්නි යකුම’ හෙවත් ‘දහඅට සන්නිය’ ශාන්ති කර්මය සැබැවින්ම නූතන ප්‍රකාශනවාදී කලාවේ (Expressionist Art) ලක්ෂණ සහිත විශිෂ්ට ගණයේ ප්‍රසංගයකි. මුලින්ම පූජා ද්‍රව්‍ය රැගත් ‘පාලි දහඅටක්’ සබයට පැමිණෙන අතර, අනතුරුව විවිධ සන්නි යකුන් තම වෙස් මුහුණු පැළඳ රෝග ලක්ෂණ නිරූපණය කරමින් රංග භූමියට පිවිසෙති. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ නූතන මනෝවිද්‍යාවේ එන ‘විමෝචනය’ (Catharsis) වැනි සංකල්ප මෙහි අන්තර්ගත වීමයි. රෝගයට අධිපති යැයි සැලකෙන බියකරු යක්ෂයා සහ බෙරකරුවා (විදානේ) අතර සිදුවන ඇතැම් විට ලිංගිකත්වය ද ගොනු කර ගත් උපහාසාත්මක හා හාස්‍යජනක සංවාද හරහා රෝගියා තුළ පවතින අභ්‍යන්තර භීතිය සමනය කෙරේ. හාස්‍යය හෙවත් ප්‍රහසනය (Humour) මඟින් මානසික ආතතිය දුරු කරන අතරම, මුළු ගම්මානයම එක්ව පවත්වන මෙම සාමූහික කර්තව්‍යය නිසා රෝගියා තුළ තමන් කෙරෙහි පවත්නා ‘සමාජ ආරක්ෂණය පිළිබඳ හැඟීමක්’ ජනිත වේ. මෙය ඕනෑම රෝගියෙකුගේ සුවපත් වීමේ ක්‍රියාවලිය වේගවත් කරන ප්‍රබල සමාජ මනෝවිද්‍යාත්මක සාධකයකි.

මෙම දහඅට සන්නිය දෘශ්‍යමය රෝග විනිශ්චය සහ කලාත්මක ප්‍රතිකාර පද්ධතියක් ලෙසින් හඳුන්වා දිය හැකි අතර, එක් එක් සන්නි යක්ෂයා හරහා නිරූපණය වන්නේ එකල සමාජයේ පැතිර තිබූ විවිධ කායික, මානසික සේම මනෝකායික ව්‍යාධීන් (Psychosomatic Disorders) බව හඳුනාගත හැකිය. උදාහරණයක් ලෙස, භූත සන්නිය මඟින් මානසික ව්‍යාකූලතා ද, බීත සන්නිය මඟින් කම්පනය (Shock) ද, කණ, බීරි සහ ගොළු සන්නි හරහා ඉන්ද්‍රිය දුබලතා ද නිරූපණය වේ. ආයුර්වේදයේ එන ත්‍රිදෝෂ තත්ත්වයන් විදහා දක්වන පිත් සහ වාත සන්නි මෙන්ම, ආහාර මාර්ගයේ රෝග පෙන්වන ගුල්ම සහ අමුක්කු සන්නි ද මෙහි වෙති. අංශභාගය නිරූපණය කරන වෙඩි සන්නියත්, මරණාසන්න තත්ත්වය පෙන්වන මරු සන්නියත් හරහා පැරණි ගැමි විඥානය සතුව තිබූ ජන වෙදකමේ සවිමත් බව සහ මනා නිරීක්ෂණ ශක්තිය පැහැදිලි වේ. යාගයේ උච්චතම අවස්ථාව වන්නේ සියලු රෝගවල නායකයා වන ‘මහ කෝල සන්නි යකාගේ’ පැමිණීමයි. මෙය නාටකයක හෝ චිත්‍රපටයක කූටප්‍රාප්තිය (Climax) වැනි ය. හිරු උදාවට පෙර සිදුවන මෙම අතිශය නාට්‍යමය අවස්ථාවේදී, බුදුන්ගේ නියෝගයට අවනත වන යක්ෂයා දොළ පිදේනි ලබාගෙන රෝගියා සුවපත් කිරීමට එකඟ වීමත් සමඟ ශාන්ති කර්මය නිමාවට පත් වේ. නමුත් මේ වන තෙක් බොහෝ දෙනකු නොදන්නා කරුණක් ද තිබේ; එනම් මෙම සන්නි දහඅට ලෙස විවිධ වෙස් ගැන්වීම්, රංග වින්‍යාසයන් හා විවිධ දෙබස් මඟින් සබයට පැමිණෙනුයේ එකම ශිල්පියකු වීමයි.

සන්නි යකුන් සහ රෝගියා අතර ගොඩනැගෙන අන්තර්ක්‍රියාව මඟින් ‘දෘෂ්ටිකෝණය වෙනස් කිරීම’ (Role Reversal) සහ ස්වයං අවබෝධය ලබා ගැනීමටත්, පවුල් ආරවුල් හා අතීත කම්පන (Trauma) තත්ත්වයන්ගෙන් මිදීමටත් රෝගියාට අවස්ථාව ලැබේ. අද වන විට තාක්ෂණික දියුණුව හමුවේ අප මෙම සම්ප්‍රදායික දැනුම පද්ධතිය නොසලකා හැරිය ද, දහඅට සන්නිය තුළ සැඟව ඇත්තේ මානව ශිෂ්ටාචාරයේ ඉතා දියුණු සංස්කෘතික හා චිකිත්සක උරුමයකි. වෙස් මුහුණු කැටයම් ශිල්පයේ සිට නූතන ‘Stand-up Comedy’ වල පවා බහුලව දැකිය හැකි පද පෙරළා කීම (Spoonerism) වැනි වාග් රීතීන් දක්වා විහිදෙන මෙම කලාව, නූතන සමාජයේ මානසික සුවය සහ කලාත්මක රසවින්දනය උදෙසා අදටත් උචිත පරිදි භාවිතයට ගත හැකි අස්පෘශ්‍ය දේශීය සංස්කෘතික උරුමයකි. එහෙත් එහි ඛේදනීය තත්ත්වය වනුයේ අනාගත පරම්පරාවට උරුම වීමට පෙර මේවා පණ පිටින් මිහිදන් වීමට ඇති පහසු අවකාශයයි.

මහා කෝල සන්නි යක්ෂයා සහ සන්නි දහ අටමෙම ක්‍රියාවලිය හරහා සිදුවන සංවේදන මුදාහැරීම හෙවත් ‘කැතර්සිස්’ (Catharsis) තත්ත්වය, රෝගියාගේ සිතේ සිරවී ඇති දැඩි වේදනාවන් හෝ කෝපය පිටතට මුදාහැරීමට උපකාරී වේ. එමෙන්ම, සන්නි යකුන් සහ රෝගියා අතර ගොඩනැගෙන අන්තර්ක්‍රියාව මඟින් ‘දෘෂ්ටිකෝණය වෙනස් කිරීම’ (Role Reversal) සහ ස්වයං අවබෝධය ලබා ගැනීමටත්, පවුල් ආරවුල් හා අතීත කම්පන (Trauma) තත්ත්වයන්ගෙන් මිදීමටත් රෝගියාට අවස්ථාව ලැබේ. අද වන විට තාක්ෂණික දියුණුව හමුවේ අප මෙම සම්ප්‍රදායික දැනුම පද්ධතිය නොසලකා හැරිය ද, දහඅට සන්නිය තුළ සැඟව ඇත්තේ මානව ශිෂ්ටාචාරයේ ඉතා දියුණු සංස්කෘතික හා චිකිත්සක උරුමයකි. වෙස් මුහුණු කැටයම් ශිල්පයේ සිට නූතන ‘Stand-up Comedy’ වල පවා බහුලව දැකිය හැකි පද පෙරළා කීම (Spoonerism) වැනි වාග් රීතීන් දක්වා විහිදෙන මෙම කලාව, නූතන සමාජයේ මානසික සුවය සහ කලාත්මක රසවින්දනය උදෙසා අදටත් උචිත පරිදි භාවිතයට ගත හැකි අස්පෘශ්‍ය දේශීය සංස්කෘතික උරුමයකි. එහෙත් එහි ඛේදනීය තත්ත්වය වනුයේ අනාගත පරම්පරාවට උරුම වීමට පෙර මේවා පණ පිටින් මිහිදන් වීමට ඇති පහසු අවකාශයයි.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය