දිවයින ඉරිදා සංග්‍රහයේ හිටපු ප්‍රධාන කර්තෘ සහ මෙරට පුවත්පත් කලාවේ සුවිශේෂී සලකුණක් තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොලමන්ස් මහතා අභාවප්‍රාප්ත විය.ඉකුත් 10 වන දා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළු කිරීමෙන් පසු දිවියෙන් සමුගන්නා විට ඒ මහතා 66 වන වියේ පසු විය.
1960 මාර්තු 11 වනදා වත්තලදී උපත ලැබූ අනුර සොලමන්ස් මහතා, වසර හතළිහකට අධික කාලයක් ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. හැත්තෑව දශකයේ අගභාගයේදී කිත්සිරි නිමල් ශාන්තයන් ගේ සංස්ක්‍රරණයෙන් යුතුව මල්ටි පැක්ස් ආයතනය එළි දැක් වූ ‘ඉරිදා’ පුවත්පතෙන් මාධ්‍ය ගමන ආරම්භ කළ ඔහු ‘දිවයින’ පුවත්පතේ සමාරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස එහි සේවයට එක් විය.
පසුව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ පදවියෙන් ප්‍රධාන කර්තෘ පදවියට පත් ව වසර හයකට අධික කාලයක් කටයුතු කළ ඔහු, තියුණු සහ ආන්දෝලනාත්මක කතුවැකි මඟින් පාඨක අවධානය දිනාගත් මාධ්‍යවේදියෙකි.
මාධ්‍ය කලාවට අමතරව, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත. විදේශ මාධ්‍ය පුහුණු වැඩසටහන් රැසකට සහභාගී වී අත්දැකීම් ලබා සිටි ඔහු, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය සහ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබුණි.
අභාවප්‍රාප්ත අනුර සොලමන්ස් මහතාගේ බිරිඳ ‘ලක්බිම’ පුවත්පතේ හිටපු විදේශ කර්තෘ නිශානි දිසානායක මහත්මියයි. ඔහු ඉසුරු සහ යශෝධරා යන දරුවන් දෙදෙනාගේ ආදරණීය පියාණන් වූ අතර මිණිබිරියන් තිදෙනෙකුගේ මුත්තනුවන් ය. ප්‍රවීණ ඉංග්‍රීසි කථිකාචාර්ය පාලිත ශාම්දාස මහතා ඔහුගේ එකම සොහොයුරා ය.
අනුර සොලමන්ස් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද (11)දහවල් සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබේ. අවසන් කටයුතු හෙට (12) පස්වරු 3.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.