පොලීසිය මගේ ප්‍රකාශය විකෘති කොට මාධ්‍යයට දීලා

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා පසුගිය දා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය වෙත ලබාදුන් ප්‍රකාශය පොලීසිය විසින් විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා තිබේ.සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඒ මහතා සඳහන් කොට ඇත්තේ තමන් දුන් ප්‍රකාශය පොලීසිය විසින් විකෘති කර එමෙන්ම තමන් ලබා දුන් ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් මාධ්‍ය වෙත ලබා දී ඇති බව ය.විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ සටහන් කොට ඇති සම්පූර්ණ ප්‍රකාශය මෙලෙසිනි.

මා විසින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය විකෘති කොට මාධ්‍යවලට ලබාදීම සම්බන්ධවයි :

පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම් දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.

මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.

පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යයට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහ කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇති වේ.

සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවය ද ප්‍රශ්නයට ලක්කර ගනියි.

පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතු ය.

විමල් වීරවංශ
නායක – ජාතික නිදහස් පෙරමුණ
2025.10.10

කාලීන පුවත්