වත්මන් චිත්‍ර කතා ක්ෂේත්‍රයේ සුවිශේෂ පෞරුෂයක් ගොඩ නංවා ගැනීමේ විපුල ප්‍රතිභාවකින් සමන්විත මහා සිත්තරුවකු වූ බන්ධුල හරිශ්චන්ද්‍ර සූරීහු අභාවප්‍රාප්ත වූහ.ජී.ඇස් ප්‍රනාන්දු සහ සුසිල් ප්‍රේමරත්න යන මහා සිත්තරුන් සේම රසිකයන් අතරේ “මාස්ටර්”යන නමින් හැඳින්වීමේ භාග්‍යය හිමි කර ගත් අවසන් මහා සිතරාණන් ද වන එතුමා 1962 සිට 2006 දක්වා වසර 44 ක කාලය තුළ ලේක්හවුස්, මල්ටිෆැක්ස්, කැමිලස් පබ්ලිකේෂන් සහ සුමති ආයතනවල සේවය කරමින් ඔහු නිර්මාණය කර ඇති චිත්‍රකතා සංඛ්‍යාව 170 කට අධික ය. 1940 මැයි මස 24 වැනිදා පානදුර, කෙසෙල්වත්ත ග්‍රාමයේදී දොම්පෙගේ බන්ධුල හරිශ්චන්ද්‍ර පීරිස් මෙලොව එළිය දුටුවේය. ඔහුගේ ළමා කාලය සතුටින් පිරී ගිය එකක් නොවීය.වඩු කාර්මිකයකු වූ සිය පියාණන් අකාලයේ රෝගී වීම නිසා හටගත් දුෂ්කරතා මධ්‍යයේ වුවද, පානදුර ශ්‍රී ජින ධර්මදාන විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූ එතුමෝ පසුව එවකට ‘හේවුඩ්’ ලෙස හැඳින්වූ රජයේ ලලිත කලායතනයෙන් චිත්‍ර කලාව හැදෑරූහ. එච්.පී.බී. ජයවර්ධන මහතාගේ මග පෙන්වීමෙන් ජාතික කලා පෙරමුණ හරහා සිය දක්ෂතා එළිදැක්වීමට ඔහුට මග පෑදුණි.
1962 දී ‘ලේක්හවුස්’ ආයතනයට සම්බන්ධ වූ ඔහු, ‘දිනමිණ’ පුවත්පතට “සුලසා ජාතකය” ඇඳීමෙන් සිය චිත්‍රකතා ගමන ඇරඹූ බන්ධුල හරිශ්චන්ද්‍ර මහා සිත්තරාණන් විසින් 1962 සිට 2006 දක්වා වසර 44 ක කාලය තුළ ලේක්හවුස්, මල්ටිෆැක්ස්, කැමිලස් පබ්ලිකේෂන් සහ සුමති ආයතනවල සේවය කරමින් නිර්මාණය කර ඇති චිත්‍රකතා සංඛ්‍යාව 170 කට අධික ය. මෙයින් 65 ක්ම ජාතක කතා වීම විශේෂත්වයකි.බන්ධුල හරිශ්චන්ද්‍රයන්ගේ නිර්මාණාත්මක සිතුවම් කලාව සිනමා ඇසකින් යුතු වූ බැවින් එතුමන්ගේ චිත්‍රකතා කිහිපයක්ම සිනමාවට ද නැඟී හත්වෙනි දවස (1981), තනි තරුව (1982), පෙති ගෝමර (1982) සහ සෙනෙහසක කඳුළු (1983) ඒ අතර ප්‍රධාන වේ.චිත්‍රකතාවලින් ඔබ්බට ගිය බන්ධුල හරිශ්චන්ද්‍ර සූරීහු බිතු සිතුවම් කලාවෙහි ද නිපුණත්වය දැක්වූහ. බොරැල්ලේ ශ්‍රී ලංකාරමය සහ අම්බලන්ගොඩ කලුවඩුමුල්ල විහාරස්ථානවල බිතු සිතුවම් එතුමන් අතින් නිර්මාණය විය. මීට අමතරව පොත් කවර නිර්මාණය, මුද්දර සැලසුම්කරණය සහ ප්‍රචාරක පෝස්ටර් නිර්මාණයට ද එතුමෝ සක්‍රීයව දායක වූහ.ජ්‍යෙෂ්ඨ චිත්‍ර චිත්‍ර ශිල්පිනියක වූ කුසුම් මංගලිකා මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ බන්දුල හරිශ්චන්ද්‍රයන් එක්දරු පියෙකි.එතුමන් ගේ දේහය මේ වන විට අංක 141. ඩී. වලව්වත්ත, කුරුස හංදිය, අළුබෝමුල්ල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (02) පස්වරු 4.30ට බණ්ඩාරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.