නොරොච්චෝල ලක්විජය බලාගාරයට සැපයූ ගල්අඟුරු ප්රමිතියෙන් තොර වීම හේතුවෙන් එහි දෛනික විදුලි උත්පාදන ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව බලාගාර කළමනාකරු පී. ඩබ්ලිව්. බමුණුසිංහ ඊයේ (27) සඳහන් කොට තිබේ.ඊයේ පෙරවරුවේ බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ විපක්ෂ මන්ත්රී කණ්ඩායමක් හමුවේ කරුණු දක්වමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ පළමු ගල්අඟුරු නෞකාවෙන් ලැබුණු තොග භාවිත කිරීමත් සමඟ බලාගාරයේ දෛනික උත්පාදනය මෙගාවොට් 95කින් පමණ අඩු වී ඇති බවයි.දෙවන නෞකාවෙන් ලැබුණු ගල්අඟුරු භාවිතයේදී ද ධාරිතාව දළ වශයෙන් එම ප්රමාණයෙන්ම පහත වැටුණු බවත්, මේ වන විට මෙලෙස ලැබෙන ගල්අඟුරු තොගවල පවතින ප්රමිතිය පිළිබඳ ගැටලුව බලාගාරයේ ක්රියාකාරීත්වයට සෘජු බලපෑම් එල්ල කර ඇති බවත් ඔහු මෙහිදී පැහැදිලි කොට තිබේ.පවතින තාක්ෂණික ගැටලු හේතුවෙන් තෙවන නෞකාවේ ගල්අඟුරු ගොඩබෑම තාවකාලිකව නතර කර ඇති නමුත් මේ වන විට සිව් වන නෞකාවේ ගල්අඟුරු ද ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බව ගල්අඟුරු සැපයුමේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා අවධාරණය කොට තිබේ. .ගල්අඟුරු ප්රමිතිය පිළිබඳව මතුව ඇති මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් බලාගාර පාලනාධිකාරිය විසින් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු වගකීම් කළමනාකාරිත්වය විසින් ඉටු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.ඒ අනුව.ප්රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් බලාගාරයේ යන්ත්ර සූත්රවලට හානි සිදුවීමේ අවදානම පිළිබඳව ද මෙහිදී විපක්ෂ මන්ත්රීවරුන්ගේ අවධානය යොමු වී තිබේ.