මම නීතියට ඉහළින් නෙවෙයි ඉන්නේ

තමන් නීතියට ඉහළින් සිටන අයකු නොවන බවත්, තමන් වැරැද්දක් කර තිබේ නම් ඊට එරෙහිව ඕනෑම අයකුට අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ මහතා පවසයි.ඔහු එසේ සඳහන් කර ඇත්තේ ඊයේ (21)තමන් හමුවීමට පැමිණි නීතිඥවරුන් පිරිසක් අමතමිනි. “ඔබලා නීතිය ගැන දන්නවා. මම නීතියට ඉහළින් නෙවෙයි ඉන්නේ මම වරදක් කරනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණය තියෙනවා, අභියාචනාධිකරණය තියෙනවා. කරුණාකරලා ඒ තැන්වලට ගිහින් අභියෝග කරන්න” එහි දී නීතිපතිවරයා වැඩිදුරටත් පවසයි.
වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඉකුත් 20 වන දා පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවක නිරත වූ අතර ඇතැම් නීති කෘත්‍යයන්වලදී පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, දූෂිත පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක නොකිරීම, ඔවුන් ආරක්ෂා කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව පැවසෙන දුෂිත ක්‍රියා ඒ සඳහා නිමිති වී තිබිණ.මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර ඇත්තේ, නීතිපතිවරයාගේ බලතලවලට අනවශ්‍ය අයුරින් අත නොතබන බව සහතික කිරීම රජයේ මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ද යුතුකම බවයි.අධිකරණයේ ස්වාධීනත්වය පිරිහීමකින් තොරව ආරක්ෂා කර ගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය සහ ලේකම් චරිත් ගල්හේන ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක එබව සඳහන් වේ.

කාලීන පුවත්