විදුලි ඉංජිනේරු සංගමය මේ වන විට ක්‍රියාත්මක කරන සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරමින්, ඊයේ (07) පස්වරු 4:15 සිට සියලු වැඩ අත්හිටුවීමට ගෙන ඇති තීරණයත් සමඟ රට පුරා විදුලි කප්පාදුවක් සහ සැපයුමේ අස්ථාවරත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අනතුරු අඟවයි. විදුලි ඉංජිනේරු සංගමය මෙම තීරණය ක්ෂණිකව නොගත් බවත්, ඊට පාදක වූ හේතු පැහැදිලි කරමින් සියලුම අදාළ බලධාරීන් වෙත ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්ර කළ බවත් පාලිත මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. ඒ අනුව, සියලුම නඩත්තු කටයුතු සහ හදිසි බිඳවැටීම් අලුත්වැඩියා කිරීම් සිදු කරනු ලබන්නේ සාමාන්‍ය සේවා කාලය වන පැය අටක කාල සීමාව තුළ පමණක් බව ද ඔහු අවධාරණය කළේය. එම කාලයෙන් පරිබාහිරව, කෙතරම් හදිසි අවස්ථාවක් වුවද කිසිදු නඩත්තු හෝ අලුත්වැඩියා කටයුත්තක් සිදු නොකරන බවද ඔහු සඳහන් කරයි.